අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නෑ ?

දුම්රිය රියෑදුරන් සහ නියාමකවරුන් (ගාඩ්) අද (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ප්‍රධාන ඉල්ලීම් අටකට විසඳුම් ලබා නොදීමට එරෙහිවයි මෙම තීරණය ගෙන ඇත්තේ. නවක දුම්රිය නියාමකයන් බඳවා ගැනීමේදී සිදුවූ ගැටලු නිරාකරණය නොකිරීම, නියාමක ශ්‍රේණියේ අධිපංතියේ උසස්‌වීම් ලබා නොදීම, දෙවන දෙපාර්තමේන්තු පරීක්‍ෂණය මත පළමු පංතියේ උසස්‌වීම් ලබා නොදීම, නවක නියාමකයන්ගෙන් පිරිසකට විශ්‍රාම වැටුප ලබාදීම හා තවත් පිරිසකට ලබා නොදීම, නවක නියාමක පුහුණු ශ්‍රේණිය ඉවත් කර සසස පන්තියට අන්තර්ග්‍රහනය නොකිරීම, වැරදි වැටුප් පත්‍රිකා ලබාදීම, දුම්රිය නියාමක, රියෑදුරු හා ස්‌ථානාධිපතිවරුන් බඳවා ගැනීමේදී ක්‍රම දෙකකට බඳවාගැනීම, නව මෙහෙයුම් කළමනාකරණ සේවාව නොපිහිටුවීම හා අදාළ වැටුප් විෂමතාව නිවැරදි නොකිරීම යන කරුණු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය එම ඉල්ලීම් වනවා. එම වෘත්තීය ගැටලු නිරාකරණය කර දෙන බවට අගමැති ලේකම් සමන් ඒකනායක මහතා මීට පෙර පැවැති සාකච්ඡාවකදී එකඟ වූ නමුත් ඒවා ඉටුකිරීමට හෝ අඩුම තරමේ අදාළ පාර්ශ්ව සමඟ මෙතෙක්‌ සාකච්ඡාවක්‌ හෝ ලබාදී නැතැයි ද ලංකා දුම්රිය නියාමක සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ජානක ප්‍රනාන්දු මහතා ප්‍රයිම් ලංකා වෙත කියා සිටියා. එබැවින් ඊට විරෝධය පළකරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට අකමැත්තෙන් වුවද තම වෘත්තීය ක්‍රියාමාර්ගය අරඹන බව එම සංගමය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක්‌ ද යොමුකරමින් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.