අධිකරණයේ ස්වාධීනත්වය ගැන දෙමළ ජාතික සන්ධානයට සැක

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අධිකරණය ලබා දුන් නඩු තීන්දුවට තමන් එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසනවා. නඩරාජා ඝාතන නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දෙනලද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව අදාළ නඩු තීන්දුව තුළින් තහවුරුවන බව පවසන මන්ත්‍රීවරයා යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා සිටින්නේ ද එවැනි තත්වයක් මත බවත් සඳහන් කළා.

රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකු ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරා තිබිණා.

“රවිරාජ් මන්ත්‍රීතුමා ඝාතනය කරලා අවුරුදු දහයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් වරදකරුවන් කර නැහැ. උදේ වරුවේ ඔහු මරා දැම්මේ මහ පාරේ” පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.