අමර සර අවසන් ගමන රාජ්‍ය ගෞරව සහිතව

හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඊයේ රාත්‍රීයේ ඇතුළත් කළ අමරදේව සූරීන් මිය යන විට 88 වන වියේ පසුවුණා.

ඩබ්. ඩී. අමරදේව සූරීන් උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කළ ‍‍ගෞරවණීය කලාකරුවෙක්.

1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙලොව එළිය දුටු,වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස පසු කලෙක ඩබ්.ඩී අමරදේව නමින් ප්‍රකට වූ අතර එම නම භාවිතා කරන ලෙස යෝජනා කර ඇත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් යැයි කියනවා.

සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කරගනිමින් ඔහු හෙළ සංගීත ක්ෂේත්‍රයට අමිල සේවයක් ඉටු කළා.

අමරදේව  සූරීන් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් වන අතර ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. ඉක්බිතිව ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත්ව පසු කලෙක ඉන්දියාවේ ලක්නව්හි  භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයටද ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.

“අශෝකමාලා” චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සූරීන්ගේ සේවය ලබාගෙන තිබෙනවා.

දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබූ අමරදේව සූරීන් ඒ අතර පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදීය විශේෂ කොට සැලකිය හැකියි.

එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, “ගවුමි සලාම්” නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සලකුණු කළ විශිෂ්ටයෙකු වුණා.

මේ අතර ඩබ්ලිව්.ඩී.අමරදේව මහතාගේ දේහය පිළිබඳ අවසන් ගෞරව රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා  පස්වරු 3ට සිදු කරන බව  සඳහන්.

ඒ අනුව හෙට(04) උදෑසන 10 සිට සෙනසුරාදා(05) පස්වරු 3 දක්වා එතුමාගේ දේහය මහජන ගෞරව සඳහා  කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැන්පත් කර තැබෙනු ඇති.

Leave a Reply

Your email address will not be published.