අමුතුම ගේමක් ගහන කම්කරු නායකයා

“කුබියෝ” නම ඇහිච්ච ගමන් වර්තමානයේ අපිට මතක්වෙන්නේ සතෙක්ව නෙමෙයි. පුංචි තිරයේ විකාශය වෙන ටෙලි නාට්‍යක්. ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව උඩුයටිකුරු කල ටෙලි සිත්තමක් විදියට “කුබියෝ” ටෙලි නාට්‍යය හදුන්වන්න පුළුවන්. ලොකු කුඩා කාගේත් ප්‍රේක්ෂක ආකර්ශණය මැද කාගේත් කුතුහලය ඉහලට නංවමින් මේ දිනවල “කුබියෝ” විකාශය වෙනවා. කතාව කේන්ද්‍ර වෙලා තියෙන්නේ ජෙහාන් නමැති ගේම්කාරයෙක් වටේ. ගුරුන්ටත් අකුරු වරදී කියනවා වගේ ජෙහාන්වත් මේ වෙද්දී ගේමක පැටලිලා. ඔහුත් මේ වෙද්දි ඉන්නේ සියුම්ව සැලසුම් කරපු උගුලකට අහුවෙලා. කව්ද මේ උගුල සැලසුම් කලේ. ජෙහාන්ටත් වඩා මොළකාරයා කව්ද? මේ ඔහුගේ කතාවයි.

සේනාධී තෙන්නකෝන්, එක්සත් කම්කරු පෙරමුණේ නායක සහෝදරයා. හැමෝම හදුන්වන විදියට මොහු තමා ජෙහාන්ව අමාරුවේ දාපු මොළකාරයා. ඇත්ත ජීවිතේදී මොහු කව්ද? කොයි වගේ පුද්ගලයෙක්ද?

චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධ ‘එකදා වැහි’, ‘චෙරියෝ හොල්මන්’, ‘කේ සාරා’ නමැති චිත්‍රපට රිදී තිරයට ගෙන ආ “කුබියෝ” ටෙලි සිත්තමේ සේනාධී තෙන්නකෝන් චරිතයට පණ පොවන ඔහු පරාක්‍රම ජයසිංහ යි.

සිනමාව සම්බන්ධවයි ඔබේ නම මෙතෙක් කාලයක් කියවුනේ. පුංචි තිරයට ආපු පලවෙනි වතාවේම ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාරනම් හුගක් හොදයි. ටෙලි නාට්‍යය නරබන සමහරු දන්නේ නෑ මම අධ්‍යක්ෂකවරයෙක් කියලා. මව අදුරන අයනම් මට කතාකරලා කියනවා මගේ රගපෑම හොදයි කියලා. ඒ ගැන සතුටුයි.

මීට කළින් රගපාලා පළපුරුද්දක් තිබුනද?
1994 වසරේ තිරගත වුනු මගේ ‘එකදා වැහි’ චිත්‍රපටයේ තත්පර 15ක වගේ දර්ශනයකට මන් පෙනී සිටියා. ඒක චිත්‍රපටියක පෙනී ඉන්න ආසාවට කරපු දෙයක් විතරයි. ඊට පස්සේ ලක්මාල් ධර්මරත්නගේ කෙටි චිත්‍රපටයක සුළු චරිතයක් රගපෑවා. ඊට වඩා නළුවෙක් විදියට මන් වැඩි දෙයක් කරලා නෑ.

නමුත් නළුවෙක් විදියට ඔබට දෙයක් කළහැකි බව “කුබියෝ” අධ්‍යක්ෂකවරයා දැනගෙන ඉන්න ඇති නේද?
කුබියෝ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්නත් පිටපත් රචක දමිත අතරත් මගේ මිත්‍රත්වය ඇති වුනේ මීට අවරුදු 10කටත් කලින්. ඒ මිත්‍රත්වයේ ප්‍රතිපලයක් විදියට තමයි කුබියෝ නාට්‍යයේ චරිතයක් මන් වෙනුවෙනුත් වෙන් වුනේ.

ඔබ වෙනුවෙන් වෙන් කරපු ඒ චරිතය බාර නොගෙන ඉන්න බැරි වුනෙත් ඒ මිත්‍රත්වය නිසාද?
මම නළුවෙක් නෙවෙයි. ඒ නිසා ලක්මාල් මට කරපු යෝජනාව බාරගන්න මුලදී ටිකක් අදිමදි කලා. එතකොට ලක්මාල් කිව්වා මාව ඒ චරිතයට හිතාගෙනමයි පිටපත රචනා කලෙත් කියලා. ඉතින් ඊට පස්සේ මට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා.

කුබියෝ වෙනුවෙන් ඔබට රගපාන්න හම්බෙන්නේ දේශපාලන පක්ෂයක නායකයෙකුගේ චරිතයක්. එවැනි චරිත ගැන අද්‍යයනයක් කරලද රගපෑම ආරම්භකලේ?
අපොයි නෑ. ඒවගේ චරිතයක් කොයි වගේද කියලවත් මට අවබෝදයක් තිබුනේ නෑ. දෙබස් මතක තබාගැනීමත් අමාරු වුණා.

ටෙලිනාට්‍ය කලාවට පිවිසීමට ඔබට අදහසක් නැද්ද?
අපෝ නෑ. තවම මගේ කැමැත්ත තියෙන්නේ සිනමාවට.

නමුත් ඔබ අවසන් වරට අධ්‍යක්ෂණය කරපු ‘කේ සාරා’ චිත්‍රපටිය සාර්ථකවුනේ නෑ කියලා කිව්වොත්?
නැහැ. මම ‘කේ සාරා’ චිත්‍රපටියෙන් අදායමක් බලාපොරොත්තු වුනේ නෑ. අවශ්‍යවුනේ වියදම පියවා ගැනීම විතරයි. චිත්‍රපටයට සම්මාන 11 ක් ලැබුණා. ඒ ප්‍රතිචාර ගැන මම තෘප්තිමත්.

‘කේ සාරා’ චිත්‍රපටයෙන් පසු අලුත් සිනමාපටයක් කරන්න අදහසක් නැද්ද?
මේ අවූරුද්දෙ අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගන්න සුදානමින් සිටිනවා.

 

(සති අන්ත පුවත්පතක් ඇසුරින් උපුටා ගන්න ලදී)

Leave a Reply

Your email address will not be published.