ආන්ඩුවටත් පයින් ගහලා ඇමති හරීන් හරිම තීරණය ගනී ?

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට එරෙහිව පැවැත්වූ හර්තාලය මේ වනවිට අවසන් කර තිබෙනවා. උමා ඔය බහුකාරී  ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  හෙට (30 ) සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට සුදානම් නිසා මෙම හර්තාලය අත්හැර දැමූ බවයි. ඊයේ (28) බණ්ඩාරවෙල  නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා තිබූ  අතර බණ්ඩාරවෙල තොග වෙළෙදපොල සහ  එළවළු වෙළෙදපොල ද ඒ අතර වුණා. මෙලෙස හර්තාල් පැවැත්වෙද්දී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එම අවස්ථාව අතර තුර ජනාධිපතිවරයා ඔහුට දුරකථනයෙන් දැනුම් දුන්නේ උමා ඔය උද්ඝෝෂකයන්ට විශේෂ සාකච්ඡාවක් ලබා දීමට සුදානම් බවයි. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ  ඇති වී තිබෙන ජල කාන්දුව නවතාලීම් සඳහා දැනට කිසිදු තාක්ෂණික පියවරක් ගැනීමට එහි ඉන්ජිනේරු අංශය  සමත්වී නැති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එහිදී පෙන්වා දුන්නේ. “උමා ඔයට එරෙහි ජනතාවගේ විරෝධය සාධාරණයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය හරියට විසඳුවේ නැත්නම් මටත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටින්න වෙනවා. තවමත් මේ ප්‍රශ්නයට හරියට විසඳුමක් නෑ” යැයි ද ඇමැතිවරයා එහිදී කියා සිටියා.

මේ අතර උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට පැන නැඟී ඇති පාරිසරික ගැටලු පිළිබඳව මූලික කරුණු විමර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය පෙරේදා (27දා) අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා. මෙම අනුකමිටුව මහවැලි රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, බස්නාහිර සංවර්ධන හා මෙගා ව්‍යාපෘති අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතයි. ඇමැති අනුකමිටුව ලබන සඳුදා (3දා) බණ්ඩාරවෙළට යෑමට නියමිත අතර එහිදී උමා ඔය ව්‍යාපෘතියෙන් හට ගෙන තිබෙන පාරිසරික ගැටලු නිරීක්ෂණය කිරීමට නියමිතයි. එමෙන්ම එදින අදාළ පාර්ශ්ව සියල්ල කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටද මූලික කරුණු අධ්‍යයනයක නිරත වීමටද සැලසුම් කර අතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රයිම් ලංකා වෙත පවසුවා. මේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිතයි.

Leave a Reply

Your email address will not be published.