ඇමරිකානු මාධ්‍යවේදිනියව ඝාතනය කළේ සිරියාව ?

සිරියාවේ යුද වාර්තාකරණයේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත් වූ අමෙරිකානු මාධ්‍යවේදීනි මාරි කොල්වින්ගේ මරණය හිතාමතා සිදු කළ ඝාතනයක් බව ඇයගේ පවුලේ ඥාතීහු පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වසර 4කට පෙර සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව නඩු පවරන බවයි.

ඔවුන් පවසන්නේ, ඇය හිතාමතා ඝාතනය කළ බවට තමන් සතුව සාක්ෂි ඇති බවයි. කොල්වින් කැරලිකරුවන් යටතේ පැවති හෝම්ස් නගරයේ බාබර් අම්ර් ප්‍රදේශයේ සිට වාර්තාකරණයේ නිරතව සිටියදී 2012 වසරේ සිරියානු හමුදාවේ කාලතුවක්කු ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූණා.

මාරි කොල්වින් ජීවිතක්ෂයට පත් වන විට ප්‍රධාන පෙළේ විදෙස් මාධ්‍ය රැසක් වෙනුවෙන් වාර්තාකරණයේ නියෙළෙමින් සිටියා.

ඇයගේ පවුලේ ඥාතීන් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, ඇයගේ දුරකතන පණිවුඩ ඔස්සේ සිරියානු බුද්ධි අංශ ඇය සිටින ස්ථානය නිශ්චිතව දැන ගැනීමෙන් පසු ඇය රැඳී සිටි බාබර් අම්ර් මාධ්‍ය ආයතනය ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

පවුලේ ඥාතීන් අතට පත්ව ඇති වාර්තාවට අනුව මාධ්‍යවේදිනිය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයට අණ දී ඇත්තේ, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සහෝදරයෙකු වූ මහර් නමැත්තා විසින්. මාරිගේ ඝාතකයින් කවුරුන් ද යන්න දන්නා බවත් ඔවුන් නීතිය හමුවට පැමිණවීමට අවශ්‍ය බවත් මාරි කොල්වින්ගේ සහෝදරිය විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.