ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් කණ්ඩායමට කළමණාකරුවන් දෙන්නෙක්

ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරු වශයෙන් චරිත් සේනානායකට ස්ථිර පත්වීමක් දී තිබියදී, දකුණු අප්‍රිකානු සංචාරය සඳහා හදිසියේම රංජිත් ප්‍රනාන්දු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම ගැටළු සහගත වී තිබෙනවා. දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සියලු කටයුතු සැලසුම් කර තිබියදී, කළමනාකරු වශයෙන් රංජිත් ප්‍රනාන්දු පත්කරන ලද බව සංචාරයට දින දෙකකට කලින් හදිසියේම තමන්ට දැනුම් දුන් බව චරිත් සේනානායක අප කළ විමසීමකදී පැවසුවා.

කළමනාකාර පදවිය ‘වරින්වර වෙනස් කිරීමේ’ අවශ්‍යතාවය එයට හේතුව වශයෙන් දැනුම් දී තිබුන බවත් ඔහු සඳහන් කළා.

ඒ වනවිට ඔහු සහ බිරිඳ දකුණු අප්‍රිකාව බලා යාම පිණිස පමණක් නොව දකුණු අප්‍රිකාව තුල ක්‍රීඩාංගන බලා යාම පිණිසත් ගුවන් ප්‍රවේශපත් පවා මිලදී ගෙන සිටි බවයි ඔහු අනාවරණය කළේ.

කෙසේ වෙතත් කළමනාකාර පදවිය එලෙස වරින්වර වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. එක් කළමණාකාරුවකු සිටියදී ක්‍රීඩකයින්ට පහසුවෙන් පරිපාලනය සමග ගණුදෙනු සිදුකළ හැකිවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දකුණු අප්‍රිකානු සංචාරය සඳහා රංජිත් ප්‍රනාන්දු පත්කිරීමත් සමග කණ්ඩායමේ කළමනාකරු වශයෙන් දෙදෙනකු මේ වනවිට වැටුප් ලබන අතර, චරිත් සේනානායක ‘කාර්ය නියමයක් නොමැති’ කළමනාකරුවායි.

චරිත් සේනානායක පසුගිය අප්‍රේල් මාසයේදී කණ්ඩායමේ කළමනාකරු වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට පිට පිටම ටෙස්ට් තරග පහක් ජයග්‍රහණය කළ අතර, සිම්බාබ්වේහි පැවති එක් දින තුන් කොන් තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ඔහුගේ සේවා කාලය තුළදීයි.

පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සහ සේනානායක සුසංයෝගය යටතේ ‘One Team, One Nation’ ලෙසින් එකමුතුව බොහෝ ජයග්‍රහණ දිනා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

Leave a Reply

Your email address will not be published.