උසාවිය නිහඩයි – නිහඩතාව අවසන්

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද “උසාවිය නිහඬයි”  චිත්‍රපටයට පනවා තිබු  වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට කොළඹ දිසා විනිසුරු එම්.ඒ ගුණවර්ධන මහතා නියෝග කළා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු එම්.ඒ ගුණවර්ධන මහතා මෙම නියෝගය ලබා දී තිබෙනවා.

නඩුව ජනවාරි 19 වැනි දා යළි කැඳවීමට  නියමිතයි.

මෙම චිත්‍රපටය පිලිබද විවිධ විග්‍රහයන් පසුගිය කාලයේදී පලවුණා.

සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් ප්‍රසන්න විතානගේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙනවා. අධිකරණ ක්‍රමය සමාජ සාධාරණත්වය ඉටුකිරීමට කොතෙක් දුරට සමත් වී ඇත්දැයි ප්‍රශ්න කරනු ලබන චිත්‍රපටයක් ලෙස එය හැදින්විය හැකියි..

එදා මම අසනීප වෙලා හිටියේ…
මොකක්ද අසනීපෙ?
මාස්ශුද්ධිය…
***
ළමා සාරියක් සිහිපත් කරවන සුළගට වැනෙන මන්තයක් වැනි උඩු කොටසක් සහිත අව පැහැ ගවොමක් ඇද සිටින ගැහැණියක කුඩා දරුවෙක් ඔක්කේ ගසාගෙන පදිකය දිගේ වේගයෙන් ඇවිද යයි. ඇය ප්‍රේක්ෂාකාගාරයට පිටුපා ගමන් කරන ස්වරූපය ඇතුළත් තරමක් දිගු රූපාවලිය ඇගේ අවිනිශ්චිත ජීවිතය පිළිබද මනා කියවීමක් වෙයි.මේ නිහඩ සහ ඉතාම ප්‍රබල රූපාවලියත් සමග පැහැදිලි සහ වේගවත් පසුබිම් කථනයෙන් ඛේදවාචකයකට පත් ගැහැණියකගේ ගමනාන්තයක් ගැන සවිඥානික වීමේ කුකුසක් නරඹන්නා තුළ උපදියි.ඒත් ඒ ක්ෂණයෙන් පැන නැගෙන අනෙක් ප්‍රශ්නය වන්නේ ඈ සිය දරුවාද කරපින්නාගෙන යන්නේ කොහිද යන්නයි.

නිර්මාණකරුවා යනු සත්‍ය සහ කල්පිතය මිශ්‍රිතයෙන් අද්භූත වස්තු නිර්මාණය කරන්නෙක්ය යන පුරාණ නිර්වචනය අද දවස වන විට කුඩු පට්ටම් වී ඇත්තේ සමාජ ශෝධන කාර්යයෙහි සෘජුව පෙනී සිටිමින් සිදු වූ දෑ සිදු වූ සැටියෙන්ම ගෙන හැර පෑමට සහ ඒ වෙනුවෙන් හඩක් නැගීමට නිල මට්මමෙන් වරම් ලද පුද්ගලයන් වැටත් නියරත් ගොයම් කා නම්…තියරිය අනුගමනය කරමින් ඉබාගාතයේ යන බැවිනි. එබැවින් දෙබිඩ්ඩන් නොවී පිට කොඳු සහිතව සහජාත වූ නිර්මාණකරුවන් ට සිදුවු යමක් සිදු වූ සැටියෙන්ම ගෙනහැර පෑමට සිදුවෙයි.එහි පවතින අභියෝගය වන්නේ හුදු ප්‍රවෘතිමය වටිනාකම ඉක්මවා සමාජීය දැනුවත් භාවයක් වෙත ගෙන නරඹන්නාව රැගෙන යාමේදී කලාත්මකව සිය මාධ්‍යය හැසිරවීම සදහා නිර්මාණ කරුවා කෙතරම් දුරකට සමත් වන්නේද යන්නයි.

“ උසාවිය නිහඩයි ” මා යළිත් උපන් ගම වෙත මනසින් රැගෙන යන්නට සමත් වූයේ ලෙනින් රත්නායක නම් බද්දේගම උසාවියේ විනිසුරු වරයාගේ වැඩ තහනම් වූ පුවත ඒ ඔස්සේ අනාවරණය වූ නිසාය. මගේ ගමට ආසන්නතම උසාවිය වූ බද්දේගම උසාවියේ එවකට ඇති වූ මෙම සිදුවීම් සහ කලබලකාරී වාතාවරණයන් වරින් වර අසන්නට සහ දකින්නට ලැබී ඇති මුත් එවක පාසල් දැරියකව සිටි මා මේ සිදුවීමේ අගමුල සහසුද්දෙන් දැන සිටියේ නැත. එවකට ඇසූ හා සිනමා පටයෙන් අනාවරණය වූ ඇතැම් කරුණු අනුව ලෙනින් රත්නායක ගේ ගොදුරු බවට පත් වන්නේ ඇහැට කනට පෙනෙනා ගැහැණුන්ය.එවන් ගැහැණියකගේ සැමියකු සුළු කරුණක් මත වුවද සදාකාලිකව හෝ සිරගත කිරීමට තරම් ඔහු කිසිවිටක පසුබට නොවන අතර සැමියාට විමුක්තිය උදාකර දෙන්නේය යන පොරොන්දුව මත බිරියන් ගෙන්වාගෙන දූෂණය කිරීම ඔහුගේ විනෝදාංශයයි.

පදිකය දිගේ දරුවකු වඩාගෙන ඇවිදයන්නේ මහව උසාවියේ විනිසුරුවරයාව සිටියදී ස්වාමියාව රිමාන්ඩ් භාරයේ රදවාගෙන දූෂණය කළ කාන්තාවයි.ඇය මේ යන්නේ කොහිද? උසාවිය සහ නීති ක්ෂේත්‍රෙය් මහ මොළකරුවන් තමාට සිදු වූ අසාධාරණයේදී නිද්‍රාවට පත් ව සිටියදී ඇය මාධ්‍ය ආයතන කිහිපයක් වෙත ගොස් සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේ කොතැනින් හෝ තමාට විමුක්තියක් උදාවනු ඇතැයි යන දැඩි බලාපොරොත්තුව නිසාය.මේ අතර තම බිරිද රැක ගැනීමට බැරිවීම තම පිරිමි කම පිළිබද ප්‍රශ්නයකැයි සලකන මහව සැමියා කළේ උසාවි භූමියේදී විනිසුරුවරයාට අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමයි. කිසිදු ක්‍රියාමාර්ගයකින් සැනසිලිදායක පිළිතුරක් නොලැබුනු මොහොතක දි රාවය කන්තෝරුවට ගොඩවන මේ නාදුනන ගැහැණියට සවන් දුන් වික්ටර් අයිවන් ඇයගේ කතාව සත්‍යයක් යයි වටහා ගත් පසු සිය මාධ්‍යය මෙහෙවර වූ සමාජ දැනුවත්භාවය වෙනුවෙන් සෘජුව පෙනී සිටියේය.

නමුත් නීති ක්ෂේත්‍රයේ මහබලවතුන්ගේ සරණින් සිය දුගද හමන ජිවිතය වසන් කරගන්නා විනිසුරුවරයා මහව උසාවියෙන් බද්දේගම උසාවියට ස්ථානමාරුවක් ලබන්නේ මේ අතරය. ඉන් ටික කලකට පසු ඔහු විසින් එම උසාවිභූමිය තුළදීම කාන්තාවක කෙලෙසනු ලබන අතර, ඇගේ සැමියා විනිසුරුවරයා මරා දැමීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.ඔහු කල් යල් බලා විනිසුරුවරයා මහව යන දිනක ඔහුගේ ලැගුම් හල සොයා ගෙන එයට ඇතුලු වූ මුත් දැවැන්ත සුනඛයෙක්ගේ ආක්‍රමණය නිසා එම තැත වැලකී යයි.
මරනවා..
දැන් හම්බ වුණත් මරනවා.. ඒ ඔහුගේ හඩයි.

අවසානයේ රාවය පුවත් පත ගෙන යන සටන නිමවන්නේ විනිසුරුවරයාට අඩ වැටුප් ලබා දී ගෙදරට වී සුවෙන් සිටීමේ වරප්‍රසාදය හිමි කරදෙමින්ය.ඔහුව ආරක්ෂා කළ අනෙක් විනිසුරාද කළකදී මෙරට අග්‍රවිනිශ්චයකාරයා වශයෙන් ප්‍රතිඥාදෙද්දී දේවාලයේ දෙවියන්ම හුනියම කර ඇත්නම් ආතුරයා කරන යාඥාවෙන් පලක් වේදැයි අපට සිතෙන්නට ගනී. සම්භව්‍ය සිනමාපට ‘පොලිටිකල් ප්‍රොජෙක්ට්” බවට පත් වී වාර්තා ස්වරූපයක් වත් නැති නීරස ලට පට බවට පත් වෙද්දී, ප්‍රවෘති වටිනාකම නොනසා නිර්මාණයට කලාත්මක නිමාවක් දීමට ප්‍රසන්න විතානගේ දක්වා ඇති දක්ෂතාවය සැබැවින්ම විස්ම පත්වන සුලුය. සත්‍ය මනාව ගැලපූ විට උපදින ඵලය මෙතරම් මනරම් බව මා ඉගන ගත්තේ ‘උසාවිය නිහඩයි‘ තුළිනි.
මෙහි චරිත සදහා යොදා ගත් ආධුනික ශිල්පීන්ගේ දක්ෂතාවය,සැබෑ සිදුවීමේ සැබැ දෙබස් ඒ අයුරින්ම යොදා ගැනීම, වේගයෙන් ගලා යන රූප රාමු, සියල්ල නිසි පරිදි ඇමිණීම, කැමරාව, සංගීතය හා සංස්කරණය උසාවිය නිශ්ශබ්ද වීම අරබයා කරන අරගලය යුද්ධයක් බවට පත් නොකර කලාකෘතියක් බවට පමුණුවයි. සිනමාපටය නැරඹි මා විශ්මයට පත් වූයේ ප්‍රසන්න විතානගේ නම් නිහඩ මිනිසා සතුව තිබූ නිර්භීත භාවය සම්බන්ධයෙනි. කලාකරුවන් වශයෙන් සමාජයේ ප්‍රබල ප්‍රතිරූප ගොඩ නගාගෙන සිටින්නන් තුළින් දකින්නට හැකි දැවැන්තම දුබලතාව වන්නේ තමා සමාජයට ඉදිරිපත් කරන මතවාදය තුළ ඔවුන් කිසිදිනක ජීවත් නොවීමයි.ස්ත්‍රීන් හා ස්ත්‍රී වාදය ගැන කතා කරන සහ ජනතාවාදී යයි කියාගන්නා බොහෝ කලාකරුවන්ගේ අභ්‍යන්තරය තුළ මිනීමරුවන් හා ස්ත්‍රී දූෂකයන් සැගව සිටිද්දී ඔවුන්ගේ මිත්‍යාව හා බැදුණු නිර්මාණ තුලින් සත්‍ය විද දරා ගන්නට බැරීවීමේ අසරණ භාවය තුළ අපටද සිදුවූයේ අර පදිකයේ අවිනිශ්තව ඇවිද ගිය ගැහැනියට සිදු වූ දෙයමය.එබැවින් කලාව කෙරෙහි තබා ගත හැකි වූයේ හුදු විනෝද මාධ්‍යයක්ය යන මතය පමණක් වූ අතර කලාකරුවා කෙරෙහි තබා ගත හැකි වූයේ විනෝදය සපයන්නා හෙවත් විහිලු කාරයා වැනි අදහසක් පමණි.
නමුත් වසර ගණනාවක සිට නිර්මාණ ඔස්සේ ප්‍රසන්නව ලුහුබැදීම තුළින් මා වටහාගත් කරුණක් වූයේ ඔහුගේ ප්‍රදර්ශන මත වාදය සහ සත්‍ය ජීවිතය අතර කිසිදු හිදැසක් නොවන බවයි. කලාකරුවකු වශයෙන් සමාජ අවරෝධනයන්හි දී ඔහු ගෙනගිය නිහඩ අරගලය හෙට දවසේ සිනමාව පිළිබදව සුබදායි බලාපොරොත්තුවක් ඉතිරි කළා පමණක් නොව යුක්තිය හා සාධාරණය සොයමින් පදිකයෙහි ඇවිදගිය ගැහැණිය අවසානයෙහි සිය අවනඩුව කියන්නට උසාවියකට නොව පත්තර කන්තෝරුවකට ගොඩවීම තුළින් පෙනී යන්නේ තව දුරටත් කලාකරුවා මිත්‍යාව ඔප දමන්නෙක් පමණක් නොවන බවයි.

3 thoughts on “උසාවිය නිහඩයි – නිහඩතාව අවසන්

Leave a Reply

Your email address will not be published.