එම් ජී ධනුෂ්ක අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ගායන ශිල්පී එම්.ජී.ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (3) වරෙන්තු නිකුත් කළා.

ප්‍රවීන ගායන ශිල්පී එම්.එස්.ප්‍රනාන්දුගේ ගීත ගායනා නොකරන ලෙස ඔහුට මේ වනවිටත් වාරණ නියෝගයක් ලබා දී තිබෙනවා. එම නඩුව විභාගයට ගත් අවස්ථාවට පෙනී සිටීම සඳහා ධනුෂ්ක අද උසාවි නොපැමිණීම හේතුකොටගෙන වරෙන්තුව නිකුත් කෙරුණා.

මේ අතර සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේ එය ඇසින් දුටු බව කියන ලාල් වැලන්ටයින් නැමැති සාක්ෂිකරු අංශභාග රෝගී තත්ත්වයෙන් පෙළීම නිසා අදට (03) යෙදී තිබූ හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 11 දක්වා යළි කල්දමා තිබෙනවා. ඒ අනූව මෙම ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා බුද්ධි අංශ නිලධාරියා  එදින තෙක් රිමාන්ඩ් කිරීමටද ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන්  මහතා නියෝග කළා.

එසේම සැකකාර හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇති බැවින් ගම්පහ අධිකරණයේ විභාගවන නඩුවට ලබන 08වැනිදා ඉදිරිපත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබෙනවා. රිමාන්ඩ භාරයේ පසුවන හමුදා සාමාජිකයා ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු විසින් පසුගියදා  පැවැති පෙරට්ටුවේදී හඳුනාගත් අතර ලසන්ත ඝාතනය වූ අවස්ථාව සියැසින් දුටු බව කියන සාක්ෂිකරු ද අද උසාවියට කැඳවා මෙම හමුදා සාමාජිකයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

පසුගිය පාලනය බරපතළ ලෙස විවේචනයට ලක් කළ මාධ්‍යවේදීයෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 08 වනදා අත්තිඩිය ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්වුණා.

Leave a Reply

Your email address will not be published.