කරූගේ දියණිය මිය යන්න පෙර සැමියාට තවත් බිරිදක් සොයලා

ඉන්දිරා ජයසූරිය කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් හා දේවි බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය ඇය බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයකින්ම ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය හා පශ්චාත් උපාධිය ලබාගත්තා.

අනතුරුව ඇය බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන කිහිපයකම කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු කිහිපයක් ද හෙබවූවා. බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාර්ටින් ඩිකර් මහතා සමග විවාහ වූ ඇය දෙදරු මවක්.

දෙදහස් අට වසරේදී ඇය පියයුරු පිළිකා රෝගයකට ගොදුරුව ඇති බව දැන ගත්තා. දිගින් දිගටම ලද ප්‍රතිකාරවලින් අනතුරුව ඇයට සම්පූර්ණ සුවය ලැබූ බවයි වාර්තා වුණේ.

දෙදහස් දොළහ වසරේදී ඇගේ පවුලට තිළිණි නමින් දියණියක උපන්නා. දෙදහස් පහළොවේදී දිලන් නමින් ඇයට පුතෙකු ද බිහි කිරීමේ වාසනාව ලැබුණා. දෙවන දරුවා ලැබීමට සූදානම් වන මොහොතේ පිළිකා රෝගී තත්ත්වය යළිත් ඉස්මතු වුණා.

දරුවාගේ ජීවිතය බේරාගත යුතු බවට තීරණය කළ ඇය පිළිකා රෝගී ප්‍රතිකාර ලබා ගැනීමෙන් වැළකුණා. මේ නිසා ඇයගේ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වුණා. උත්තරීතර මව් සෙනෙහසේ ඉහළම සංකේතයක් ලෙස සමස්ත බ්‍රිතාන්‍ය ජාතිකයින්ම මේ මොහොත වන විට ඇය හඳුන්වනවා.

දරු උපතින් සතියකට පසු ඇය ප්‍රතිකාර සඳහා යොමු වුව ද රෝගය සුවකර ගැනීමට බැරි තරමට උත්සන්නව තිබුණා. ජීවිතය කෙටි කලකින් හැරයාමට සිදුවන බව දැනගත් ඇය ඉතිරි කාලය උපරිමයෙන් කැප කළේ තම ආදරණීය පවුල වෙනුවෙනුයි.

දරු දෙදෙනාගේ අනාගතයම සැලසුම් කර ඇති ඇය ඔවුන් විවාහ වන දිනයේ වාදනය කළ යුතු ගීතය පවා තෝරා තිබෙනවා. තම දරු දෙදෙනාට ආදරය කරන සුළු මවක ගෙන එන්නට ස්වාමියාට උපදෙස් දී ඇති ඇය ඒ සඳහා සුදුසු කෙනෙකු ද තෝරන්නට තරම් ආදරණීය ගැහැණියක වූ බව බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ මහත් ඉහළින්.

මම ගියාට පස්සේ ඔයා ආයෙමත් ආදරය හොයා ගන්න. හැබැයි මම වගේම අපේ බබාලට ආදරය කරන කෙනෙකුගෙන්. සිය ස්වාමිපුරුෂයාගෙන් ඇය කළ අවසන් ඉල්ලීම එයයි.

ඇගේ ඉල්ලීම පරිදි අවසන් කටයුතු ලබන සිකුරාදා එංගලන්තයේ කෙන්ට් හි බ්‍රොම්ලි ගම්මානයේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. කතානායක කරූ ජයසූරිය මහතා ඇතුලු පවුලේ සියලු දෙනාම මේ වන විට එංගලන්තයට ගොස් සිටිනවා. ඩේලි මේල් පුවත්පත ඇයව නම්කර ඇත්තේ නිර්භීත බවේ සහ ආදරයේ කතානායිකාව ලෙසයි.

Leave a Reply

Your email address will not be published.