ක්‍රිකට් තරග පාවාදීම බොරුවක්ලු – FCID ය පරීක්ෂණ නවතලා

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකරුවකු වන අනූෂ සමරනායක තරඟ පාවාදීමට සම්බන්ධ බවට සනාථ කළ හැකි කිසිදු සාක්ෂියක් ලැබී නැතැයි අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා. අයිසීසී දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ බවට ACU දූෂණ විමර්ෂණ ඒකකය පැවැත්වූ පරීක්ෂණයේදී කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බැවින් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට සූදානමක් නැති බවත් අයිසීසීය සඳහන් කරනවා.

ඒ බව දැනුම් දෙමින් අයිසීසී යේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් අනූෂ සමරනායක වෙත යවන ලද ඊමේල් පණිවුඩයේ  දැක්වෙන්නේ කිසියම් ලෙසකින් අනාගතයේදී සාක්ෂි ලැබුනහොත් අයිසීසීයේ එම තීරණය වෙනස් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් තරඟ පාවාදීම පිණිස යොදවා ගැනීමේ උත්සාහයක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය වසරේ FCID පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කළා.

රංගන හේරත්

ඒ අතර තරඟ පාවාදීමට සහාය දීමේ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනූෂ සමරනායකගේ වැඩ තහනම් කළා. ඉන් අනතුරුව ක්‍රීඩකයන් දෙදෙනාත්, නායක ඇන්ජලෝ මැතිව්ස් සහ හිටපු කළමනාකාරවරයාත් කැඳවා පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගත්තා.

අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් කිසිදු බරපතල චෝදනාවක් එහිදී හෙළිදරවු නොවූ බැවින් එම පැමිණිල්ල ඉවත් දමන ලද බවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙක් කියා සිටියේ.

කෙසේ පරීක්ෂණයේ ප්‍රතිඵලය කවරක් දැයි තමන්ට දැනුම් නොදීම තමන් ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයන් දැඩි මානසික අසහනයකට ලක් කරන්නක් බව පසුගිය එංගලන්ත සංචාරය අතරවාරයේ ක්‍රීඩක රංගන හේරත් පවසා තිබෙනවා.

“අපි ඒ ගැන තවමත් බලන් ඉන්නවා, මොකද්ද ඒකට වුනේ කියන එක. අපිට තවමත් ඒකට ලැබුණු හරි පිළිතුරක් නැහැ. අපි හරි කැමතියි මේකට ඉක්මනින් හරි උත්තරයක් ලැබෙනවා නම්,” රංගන හේරත් එහිදී කියා සිටියා.

 

Leave a Reply

Your email address will not be published.