ටැබ් එකෙන් අරුම පුදුම වැඩ ගන්න දරුවන් ඉන්න ගමක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිටිසරබද ගම්මානයක් වන භාවුමාව් ගම්මානයේ ජීවත්වන බොහෝ දරුවන්ගේ දෙමව්පියන් කෘෂිකාර්මික කටයුතු නිසා හෝ දෛනික කුලී පදනම මත රැකියා කරන්නන්වීම හේතුවෙන් දවසේ වැඩිකාලයක් ගතකරන්නේ ගම්මානයෙන් පිටතයි. ඒ හේතුවෙන් වැඩිහිටියන්ගේ මගපෙන්වීමක් නොමැතිව තනිවම තම තමන්ගේ අධ්‍යාපන කටයුතු සැලසුම්කරගන්නා ගම්මානයේ දරුවෝ ඒ සඳහා අධ්‍යාපනික වීඩියෝ, කතන්දර සහ පරිගණක ක්‍රීඩා අඩංගු ටැබ්ලට් පරිගණක උපයෝගී කොට ගන්නවා. ඉංග්‍රීසි පාඩම්වල සිට විද්‍යාත්මක පරීක්ෂණ දක්වා සියල්ල ඔවුන් තනිවම ඉගෙන ගන්නවා.

ගම්මානයේ දරුවන්ට ටැබ්ලට් පරිගණක ලබාදුන් මෙම ව්‍යාපෘතියේ දත්තවලට අනුව ළමුන් පරිගණකවලට හුරුවීමට ගතකළ මුල් තුන්මාසයක කාලය තුළ ඔවුන්ගේ මව් භාෂාව කියවීමේ හැකියාව, ඉංග්‍රීසි බස කියවීමේ සහ කථා කිරීමේ හැකියාව සහ විද්‍යාව විෂය පිලිබඳ මූලික අධ්‍යාපනික කුසලතාව 11% කින් වර්ධනය වී ඇති බව හෙළිවී ඇතැයි සදහන්.

වඩාත් වැදගත් ප්‍රතිලාභය ලෙස සැළකෙන්නේ ළමුන් ‘ඩිජිටල් තාක්ෂණය’ වෙත නැඹුරුවීම, තම විෂයානුබද්ධ ගැටලුවලට විසඳුම් ටැබ්ලට් පරිගණකය ආධාරයෙන් සොයාගැනීම සහ වඩාත් ආත්ම විශ්වාසයකින් යුතුව තම අදහස් ප්‍රකාශ කිරීමට පෙළඹීමයි.

ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල උසස් අධ්‍යාපනය සඳහා නව තාක්ෂණය යොදාගැනීමේදී කෙරුණු විප්ලවීය වෙනස්කමක් ලෙස මෙම ව්‍යාපෘතිය සැළකෙන්නේ එබැවින්.

බොහෝ පිටිසරබද ගම්මානවල ජීවත්වන ළමුන් මෙන්ම භාවුමාව් ගම්මානයේ ළමුන්ද පාසල් යන නමුත් එහිදී අධ්‍යාපනය ලැබීමට යොමුවන්නේ අල්ප වශයෙන්.

 

 

 

රාත්‍රිය එළැඹෙන විට ගම්මානය තුළ ඇවිද යන්නෙකුට අධ්‍යාපනයේ සිදුව ඇති විශ්මය ජනක වෙනස සියැසින් දැකගන්නට හැකිවනවා.

උදාහරණයක් ලෙස දුහුවිල්ලෙන් පිරි එක්තරා ගම්බද මාර්ගයක් අසල සටහන් පොත් අතැති පිරිමි ළමුන් තිදෙනෙකු මිනිස් ඇටසැකිල්ල පිළිබඳ වීඩියෝවක් නරඹමින් සිටියා.

ඔවුන් පැවසුවේ මිනිස් සිරුරේ ඇට කැබලි 206 පිළිබඳව ඉගෙනගනිමින් සිටින බවයි. එම පාඩම තවමත් පාසලේදී උගන්වා නැති බවද ඔවුන් පැවසුවා.

 

තවත් තැනක ටැබ්ලට් පරිගණකයක උපදෙස් අනුව වෑල්ඩින් උපකරණ කට්ටලයක ආධාරයෙන් යකඩ තහඩු පාස්සමින් සිටින ගැටවරයෙක්.

තවත් අයෙක් ජංගම දුරකථනයක ඉලෙක්ට්‍රොනික කොටස් එලියට ගෙන කාර්ඩ්බෝඩ්, ඇලවුම් පටි, වයර් වැනිදේ උපයෝගීකරගනිමින් යම් නිර්මාණයක් කරමින් සිටිනු පෙනුනා.

ඔහු පැවසුවේ තම නිර්මාණයේ එක් කොටසක් ටැබ්ලට් පරිගණකයේ ඇති වීඩියෝවක දැක්වෙන උපදෙස් අනුව නිම කළ අතර ඉතිරි කොටස තමා විසින්ම නිපදවූ කළ බවයි.

‘Hybrid Learning Program’ නම්වු මෙම ටැබ්ලට් පරිගණක ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත්තේ දශක දෙකක් පුරා ඉන්දියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන ‘ප්‍රතම්’ රාජ්‍ය නොවන සංවිධානයකට අයත් මාධව් චාවන් සහ රුක්මිණි බෙනර්ජි විසින්.

මෙම ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයෙන් තොර ටැබ්ලට් පරිගණක තුන් දහසක් යොදාගෙන ඇති අතර මූල්‍ය ප්‍රතිපාදන ‘වෝඩෆෝන්’ පදනම සහ ‘ඉන්දුස් ටවර්ස්’ යන සමාගම් වෙතින් ලබා දී තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, රාජස්තාන්, සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රන්තවලට අයත් ගම්මාන හාරසියයක විසිහයදහසක ළමුන් සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර ක්ෂේත්‍ර නිලධාරීන් අසූ දෙනෙකු ගේ සේවය ඒ සඳහා ලබාගෙන ඇතැයි සදහන්.

 

16 thoughts on “ටැබ් එකෙන් අරුම පුදුම වැඩ ගන්න දරුවන් ඉන්න ගමක්

Leave a Reply

Your email address will not be published.