ඩෙංගු රටම අඩපණ කරයි ?

ඩෙංගු වසංගතයක් මෙන් හිස එසවීම නිසා රටම අඩපණවීමේ අවදානමක් මතුව තිබෙනවා. බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා පමණක් නොව, ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී උතුරා යන තත්ත්වයක් පවතින බවත්, නිසි ප්‍රමිතියකට ඩෙංගු මර්දන කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ. ඩෙංගු මදුරුවා බෝවීම වැළැක්වීමට හා මදුරුවා මර්දනය කිරීම සඳහා වන ධූමායන කටයුතු සිදු කිරීමද නිසි ප්‍රමිතියකින් සිදු නොවන බැවින් වහාම ග්‍රාමීය කමිටු පිහිටුවා, ඒ හරහා මදුරු මර්දන වැඩපිළිවෙළ ප්‍රමිතිගතව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත යුතුව ඇතැයිද ඔහු සඳහන් කළා. මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් ඩෙංගු රෝගය වැලඳී මියයෑමෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇති අතර, තත්ත්වය භයානක වන ලකුණු දක්නට ඇති බැවින්, ඉදිරියේදී තවත් විශ්වවිද්‍යාල, රජයේ හා පෞද්ගලික පාසල් පමණක් නොව රජයේ කාර්යාල පවා වසා දමන තත්ත්වයක් උද්ගතවීමට බෙහෙවින් ඉඩ ඇති බව සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීමද මේ නිසා ඇනහිටියහොත්, රටේ ආර්ථිකයටද බරපතළ හානි සිදුවීම වැළැක්විය නොහැකි බවද පෙන්වා දෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා ඩෙංගු මර්දනය පිණිස ලොරි රථ ලබා දුන්නද, ඒවාට රියැදුරන් ලබානොදීම හා එම කාර්යාල සඳහා අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබාදීමට සෞඛ්‍ය බලධාරින් අපහොසත්වී ඇතැයිද හරිත අලුත්ගේ මහතා පැවසුවා. සෞඛ්‍ය ඇමැතිවරයා, ඩෙංගු මර්දනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියා ගෙන්වන බවටත්, මල්පැණි බොන මදුරුවන් ගෙන්වන බවටත්, විවිධ සුරංගනා කතා කියමින් ජනතාව තුළ බලාපොරොත්තු ඇති කරනවා මිස, ඩෙංගු මර්දනය කිරීම සඳහා නිසි වැඩ පිළිවෙළක් මේ වනතුරුත් ක්‍රියාවට නංවා නැති බව පවසන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, සියලු වෘත්තීය සමිති, පොලිසිය, හමුදාව, මාධ්‍ය, ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලු අංශවල සහයෝගය ලබාගෙන ඩෙංගු බෝවීම වැළැක්වීමට හා ඩෙංගු මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට ක්‍රියා කිරීම වඩා වැදගත් වන බවද පෙන්වා දුන්නා. ඉකුත් සිකුරාදා වනවිට රජයේ රෝහල්වලින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 71,298ක් වූ අතර ඒ අතුරින් සියයට 42.76ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද සඳහන්.

7 thoughts on “ඩෙංගු රටම අඩපණ කරයි ?

Leave a Reply

Your email address will not be published.