දිමුත් අලුත් වාර්තාවක් තියද්දී ධනංජය කියා දුන් පාඩම

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදීමටයි කාසියේ වාසිය දිනා නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේ. එහෙත් එය වාසියට හරවා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත්වුනේ නැහැ. මුලු ලකුණු පුවරුව දෙකක් වෙද්දී පළමු කඩුල්ල ලෙස කෞෂාල් සිල්වා දැවී ගියා. වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් ලකුණු 16 ක් කණ්ඩායමට එක්කර දැවී ගියා.

තුන්වන කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු හතක් ලබා සිටියදීයි.  එම දැවීයාමත් සමග ඔහු වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ ටෙස්ට් තරඟාවලියකදි එකම පන්දු යවන්නාට පස් වතාවකට වඩා දැවීගිය ක්‍රීඩකයෙක් වාර්තා කළ අඩුම පිතිකරු සාමාන්‍ය වාර්තා කරමින්. දිමුත් මෙම තරඟාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම පහේදීම දැවී ගියේ මිචෙල් ස්ටාර්ක් හමුවේයි. මිචෙල් ස්ටාර්ක්ට මෙම තරඟවලියේ ඔහුගේ පිතිකරු සමාන්‍ය ලෙස සටහන් වන්නේ 2.40ක්.

එමෙන්ම 2002න් පසුව තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟවලියකදී පිතිකරුවෙක් එකම පන්දු යවන්නාට පස් වතාවක් හෝ ඊට වඩා දැවී ගිය හතරවන අවස්ථාව ලෙසද මෙය වාර්තා වනවා.

මුලු ලකුණු පුවරුව විසි හයක් වෙද්දී වගකීම් විරහිත පිතිකරණයක නිරතවූ නායක මැතිව්ස්ද කඩුල්ල පූජා කරමින් දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටියදීයි. කණ්ඩායම වැටී ඇති අසීරුව තේරුම් ගත් දිනේෂ් චන්දිමාල් නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා සමගින් ඉන්ම ගොඩ නැගුවේ ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන්ට ටෙස්ට් ක්‍රිකට් තරගයක ක්‍රීඩා කළ යුතු ආකාරයද කියා දෙමිනුයි. දිනය නිමාවන තුරුම නොබිදි සබදතාවක් ගෙඩ නැගූ ඔවුන් දෙදෙනා රිසි සේ ලකුණු රැස්කළේ තරගයේ වාසිය නැවත ශ්‍රී ලංකාවට ලබා දෙමින්.

විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු ධනංජය ද සිල්වා සිංය මංගල ටෙස්ට් ශතකය අද වාර්තා කළා.

හත්වන පිතිකරුවා හෝ ඊට පහළින් පිටියට පැමිණ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් වාර්තා කළ දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස ඔහු අද වාර්තා පොත් අතරට එකතු වුණා. මීට පෙර එම දස්කම කර ඇත්තේ රොමේෂ් කලුවිතාරණ විසිනුයි.ඒ 1992 වසරේදියි .එයද කොළඹ SSC පිටියේදි වීම විශේෂත්වයක්.

කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ අද දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබා සිටියා. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 64 යි. ධනංජය ලකුණු 116 යි.

Leave a Reply

Your email address will not be published.