දිවිය නිමවා – ගමන නැවතූ ආචාර්ය පතිරාජ

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් ඊයේ අලුයම, සිය ජීවන ගමනෙන් සදහටම නික්ම ගියා. මාස කිහිපයක් දැඩිලෙස රෝගාතුරුව මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එතුමා මියයනවිට 74 වන වියේ පසු වුනා. අවසන් කටයුතු ඊයේ දිනයේම පස්වරුවේ මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකලා.

1943 මාර්තු 28 වැනිදා මහනුවරදී උපත ලැබූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරසවි අධ්‍යාපනයෙන් පසු මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබාගෙන තිබෙනවා.

1970 වසරේ ‘සතුරෝ’ නම් කෙටි චිත්‍රපටයක් මගින් සිය සිනමා ගමනට පියවර තැබු ආචාර්ය පතිරාජයන් 1974 දී ‘අහස් ගව්ව’ නිර්මාණය කරමින් සිනමාවේදියෙක් ලෙස මෙරට සිනමා ඉතිහාසයට එක්වනවා. හෙළ සිනමාවේ නොමැකෙන මතක සටහන් බිහි කළ අහස්ගව්ව, බඹරු ඇවිත්, පාරදිගේ , එයා දැන් ලොකු ළමයෙක්, සොල්දාදු උන්නැහේ , වාසුලි, මතුයම් දවස , සක්කාරං, පොන්මනී ඇතුළු සිනමා නිර්මාණ රැසක් එතුමා අතින් බිහිවෙනවා. ලංකාවේ පළවෙනි දමිළ චිත්‍රපටය වන ‘පොන්මනී’ අධ්‍යක්ෂණය කරමින් ලංකාවේ දමිළ සිනමාවේ උපත සිදුකරන්නෙත් මෙතුමාගේ අතිනි.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මුල් කාලීන අවධානය දිනාගත් ‘කඩුල්ල‘, ‘ඇල්ල ළඟ වලව්ව‘ ආදී ටෙලිනාට්‍ය මෙතුමාගේ නිර්මාණයන් අතරට එක්වෙනවා. මෙතුමා අවසන් වරට නිර්මාණය කළ ‘ස්වරූප’ සිනමාපටය මීට මාස දෙකකට පෙර ප්‍රදර්ශනය වුනා. මොහුගේ නිර්මාණ දේශපාලනික, ආර්ථික හා සමාජීය වශයෙන් අලුත් කියවීමක් සමාජගත කරමින් විචාරයට පවා ලක්වුණා.

70 දශකයේ කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජයන් චිත්‍රපටි පිළිබඳව අාචාර්ය උපාධියක් ලැබූ පළවෙනි ශ්‍රී ලංකිකයාද වනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිනමාව කලාව වෙනුවෙන් අලුත් පරපුරක් බිහිකිරීමට මෙතුමාගේ නොමසුරු දායකත්වය ලබාදුන්නා. පසු කාලයේ චිත්‍රපට අංශයේ උපදේශක අධ්‍යක්ෂවරයා ලෙස සිය සේවය ලබාදුන් මෙතුමා එම කාලයතුළ සුවිශේෂී වාර්තා චිත්‍රපට රැසක් සමාජගත කිරීමට දායක වුනා.

Leave a Reply

Your email address will not be published.