දෙගොල්ලොම නාගත්ත බව ජනපති කියයි

මහබැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එකිනෙකාට චෝදනාකර ගැනීම පමණක් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ආගමික උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී හෙතෙම පවසා සිටියේ, ‘ගමේ භාෂාවෙන්ම කියනවානම් බැඳුම්කර විවාදයේදී දෙගොල්ලොන්ම නාගත්තා’ යනුවෙනුයි. එසේම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සෙවීමට ජනපති කොමිසමක් පත්කළේ ශ්‍රී ලංකාවේ ඉහළම නීතිවේදීන්ගේ උපදෙස් ලබාගෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.

ගණිකා වෘත්තිය මෙන්ම සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා ප්‍රතික්ෂේප කළේ තමන් බවත්, එවැනි බෝහේ දෑ තමන්ට පැවසිය හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

‘අර්ජුන් මහේන්ද්‍රන් එළියට දැම්මේ මම. මහබැංකු අධිපති ලෙස ලෝකය පිළිගන්නා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කළේ මමයි. විගණකාධිපති පත්කළේ මමයි. මම මගේ වැඩේ හරියට කරනවා. ආණ්ඩු පක්ෂයේ හෝ වේවා විපක්ෂයේ හෝ වේවා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා’ යැයි ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

එසේම පසුගිය වසර හත අට තුලදී සිදුවූ බැදුම්කර ගණුදෙනු පිලිබද සොයා බැලීමටත් ජනාධිපති කොමිසමක් ඉදිරියේදී පත්කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.