ප්‍රේමය වෙනුවෙන් ජනාධිපතිකම හැරගිය කී ගේ පෙම් පළහිලව්ව

ඇය සිටියේ සිය මිතුරියගේ නිවසේ දොරටුව ඉදිරිපිට සිටගෙනය. සිය තැඹිලි පැහැති බයිසිකලය සෑහෙන දුරක සිට පැද ආ බැවින් ඇය හති දමමින් සිටියාය. එකවරම දොර විවර කරගෙන පිටතට පැමිණියේ ඇගේ මිතුරිය නොව නාඳුනන තරුණයෙකි. ඇය දෑස් විසල් කරගත්තාය. පාසල් නිල ඇඳුමින් සැරසී හති දමමින් තමා ඉදිරියේ යුවතියක සිටගෙන සිටීම ඔහු ද අපේක්ෂා කළ දසුනක් නොවිය. කෙසේවෙතත් ඔහු කතා නොකරම යන්නට ගිය අතර ඇය සිය මිතුරිය සොයා නිවස තුලට පිවිසියාය. එය දෙදෙනා මුණගැසුණු මුල්ම අවස්ථාව විය.

එවකට 16 හැවිරිදි පාසල් යුවතියක වූ බ්‍රෝනා සිය මිතුරිය ජෙනී සොයා පැමිණියේ ඒ වනවිට අවසන්ව තිබූ විභාගයෙන් ආර්ථික විද්‍යාව අසමත්වීමේ දුක බෙදාහදා ගැනීමටය. ඔහු ජෙනීගේ නිවසට පැමිණ තිබුණේ ඇගේ වැඩිමල් සොයුරියට ටියුෂන් දීමටය. පසුව ආර්ථික විද්‍යාවෙන් බ්‍රෝනා ‘ගොඩ‘ දැමීමේ අභියෝගයත් ඔහුටම බාර ගැනීමට සිදුවිය. ඒ යෝජනාව ගෙන ආවේ ජෙනීය.

වැඩිපුර කාලයක් පවුලේ අය සමග ගත කිරීමේ අරමුණින්  නවසීලන්තයේ අගමැති පුටුවට සමුදෙන ජෝන් කී ට සිය බිරිය බ්‍රෝනා පළමුවරට මුණ ගැසුණේ එලෙසිනි.

මුල්ම හමුවීමෙන් පසුව ඔහු ටික කාලයක් බ්‍රෝනාට ආර්ථික විද්‍යාව ටියුෂන් දුන්නේය. කවුරුත් අනුමාන කරන්නේ මේ දෙදෙනා ඒ අතරතුර කාලයේ දී ආදරයෙන් බැඳෙන්නට ඇති බවකි. එවකට ක්‍රයිස්චර්ච් නුවර බර්න්සයිඩ් උසස් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි ජෝන් සහ බ්‍රෝනා ඉන් අනතුරුව විශ්ව විද්‍යාලයිය අධ්‍යාපනයට යොමුවූහ.

මේ අතර දිනක් නගරයේ පිහිටි රස්ලි හෝටලය වෙත ජෝන් සිය මව වන රූත් රාත්‍රී ආහාරය සඳහා කැටුව ගියේය. ඔහුගේ අරමුණ වූයේ එහි වේටර්වරියක ලෙස අතිරේක රැකියාවක නිරතව සිටි සිය පෙම්වතිය බ්‍රෝනා මවට පෙන්වීමටය.

‘අර කෙල්ලව දැක්කද…?‘ ඔහු සිය මවගෙන් එසේ ඇසුවේය. මව හිස සැලුවාය.

‘මම එයාව තමයි බඳින්න යන්නේ..‘

බ්‍රෝ නමින් කවුරුත් ආදරෙන් අමතන බ්‍රෝනා සහ ජෝන් අතර මනරම් ආදර කතාව දිග හැරුණු එලෙසිනි.

තමා දේශපාලනයට පිවිසීමට අදහස් කළ බැව් ඔහු ඇයට කීවේ ඊට දින කිහිපයකට පසුව එක්තරා සැණකෙළියක දී විදුලියෙන් ක්‍රියා කරන සෙල්ලම් කාරයේ නැගී රවුමක් යාමට පෝලිමේ සිටින විටදීය.

ඊට වසර කිහිපයකට පසුව කැන්ටර්බරි විශ්ව විද්‍යාලයෙන් වානිජවේදි උපාධිය හැදෑරූ මේ පෙම් යුවල 1984 දෙසැම්බර් පළමු දා යුග දිවිය ආරම්භ කළහ.

පවුල් ජීවිතයේම ඇලී ගැලී සිටින පිරිමින් හරි අඩුය. එවැනි ජීවිත ගත කරන දේශපාලඥයන් නම් නැත්තටම නැති තරම්ය. බොහෝ දේශපාලඥයන්ට විවාහයත් එක්තරා අන්දමක ගනුදෙනුවකි. සැමියා දේශපාලනයට පිවිස යම්කිසි තනතුරක් ලබාගැනීම ඇතැම් විට ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ට ඉහටත් උඩින්ය. ඇතැම් බිරින්ඳෑවරුන් සිතන්නේ සැමියාගේ දේශපාලන බලය සිතූ සිතූ දේ ලබාදෙන කල්ප වෘක්ෂයක් බවය.

එසේ සිතා තම සැමියාගේ දේශපාලන බලය අතට ගෙන කටයුතු බිරියන් ද නැත්තේ නොවේ. ඒවා බොහෝ විට කෙළවර වන්නේ දේශපාලක සැමියා ගෙදර යන තැනට වැඩ සිද්ධ වෙමිනි. එහෙත් නවසීලන්ත අගමැති නම් තනතුර හැරදා ගෙදර යන්නේ බිරියගේ ආදරණීය ඉල්ලීමකටය.

මුල් වතාවට 2008 දී එරට අගමැති තනතුරට පත් ජෝන් කී, ඉන් පසුව 2011දිත්, 2014 දිත් එරට අගමැතිධුරයේ කටයුතු කළ අතර ඊළඟ මැතිවරණයට තවත් මාස 6ක් ඉතිරිව තිබෙද්දී ජෝන් කී හදිස්සියේම ගෙදර යාම ගැන ලෝක දේශපාලන නායකයෝ ද නළල් තල රැලි ගන්වා ගත්හ.

‘බ්‍රෝනා හිටියේ නැතිනම් මට මේ රස්සාව කරන්න බැරිවෙනවා. ‘ කිසිම දේශපාලන හේතුවෙන් නොමැතිව අගමැති තනතුර හැරදා යාම නිවේදනය කරමින් ජෝන් කීවේ එසේය.

‘එයා තමයි අපේ ළමයි දෙන්නා බලා ගත්තේ..එයා නැතිනම් මෙලහකටත් අපේ පවුල සී සී කඩ. අපේ ජීවිතවල සමහර දේවල් තියෙනවා වයිෆ් එක්ක විතරක් සාකච්ඡා කරන්න ඕන..සැමියාගෙයි බිරියගෙයි විශ්වාසයේ ශක්තිමත් ගිවිසුම ඒකයි.‘ ඔහු කියයි.

අගමැති තනතුරට පත්වූවාට පසු ජෝන්ගේ ජිවිතය එහෙම පිටින්ම කාර්ය බහුල එකක් වූ බැව් අමුතුවෙන් කිව යුතු නැත. සඳුදා, අඟහරුවාදා සහ බදාදා ඔහු දවස පුරා වෙලිංටන් නුවර සිටිය යුතුය. කැබිනට් රැස්වීම් නොමැති දිනවල වෙනත් උත්සව නිමක් නැත. රාත්‍රියේ ඔහුට පැය 5කට වඩා නිදන්නට ඉඩක් ලැබෙන්නේම නැත. සෑම රැයකදීම ඔහුට මල්ලක් පිරෙන්නට ලිපිගොනු ලැබෙයි.

එළිවන්නට පෙර ඒවා හමාර කළ යුතුය. මන්ද ලිපිගොනු පිරුණු ඊළඟ මල්ල මග එමින් තිබෙන බැවිනි.ඇතැම් සතිවල ඔහු දින හයහමාරක්ම නිවසින් පිටය. ඉරිදා දහවල් වනතුරු ඔහුට නිවසට යාමට ඉඩක් ලැබෙන්නේම නැත. නිවසේ රැය පහන් කරන්නට සතියටම ලැබෙන්නේ දෙවතාවක් පමණි. බිරිය බ්‍රෝනා සමග ඔහු වැඩිපුරම සම්බන්ධතාව තබා ගන්නේ කෙටි දුරකතන පණිවුඩවලින් හෝ සංවාදවලිනි. ඒවා ද බොහෝ විට රාජකාරි කටයුතු නිසා අතරමග විසන්ධි කිරීමට සිදුවෙයි.

‘මගේ දරුවෝ දෙන්නටම අවුරුදු ගණනාවක්ම එයා තමයි අම්මයි..තාත්තයි දෙන්නම…‘ ජෝන් කී පවසයි. බ්‍රෝනාට ගෙදර යතුර බාර දී සිය දේශපාලන වැඩවලට දවසම කැප කළ ජෝන් කී දැන් බලා සිටින්නේ ජීවිතයේ ඉතිරි කාලය ඇය සමග විවේකීව ගත කිරීමටය.

‘වයසට යනකල්ම එයා දරුවෝ බලාගත්තා…මගේ වැඩ කටයුතුවලටත් ඇති තරම් උදව් කළා. එයා මං නැතිව කොයිතරම් නම් කාලයක් තනියෙන් රැය පහන් කරන්න ඇතිද..? මං හිතන්නේ දැන් තමයි හොඳම වෙලාව එයා ගැන හිතන්න..‘ ජෝන් තනතුර හැරදා යන තීරණය නිවේදනය කරමින් එසේ ද කීවේ හැඟීම්බරවය.

සියලු දුෂ්කරතා උපේක්ෂාවෙන් යුතුව විඳ දරාගත් මේ අපූරු පෙම් යුවල දැන් පා තබමින් සිටින්නේ ජීවිතයේ සැඳෑ සමයටය. ජොන්ට දැන් අවුරුදු 55කි. මේ ගෙවෙන්නේ බ්‍රෝනාගේ 53 වැනි අවුරුද්දය. මෑතක් වනතුරුම ඇයට පොතපත කියවන්නට උපැස් යුවළක් අවශ්‍ය වූයේ නැත. එහෙත් දැන් ඇයට කියැවීමේ උපැස් යුවලක් (reading glasses) නැතිවම බැරිය.

‘ගෙදර හැම තැනම මං හිතන්නේ ‘රීඩිංග් ග්ලාසස්‘ ඇති තරම් තැන් තැන්වල තියලා ඇති..ඒත් මට ඕන වෙලාවට ඒවා එකක්වත් හොයාගන්න නෑ. දුවයි පුතයි නම් කියන්නේ රීඩිංග් ග්ලාස් එකක් මගේ කරේ එල්ලගන්න කියලා.‘ බ්‍රෝනා කීවාය.

ඔවුන්ගේ දරුවන් සිටින්නේ ද තීරණාත්මක වයසකය. වැඩිමල් දියණිය ස්ටෙෆීට දැන් අවුරුදු 23කි. ඇය පැරිස් නුවර කලා කටයුතුවල නිරතව සිටින්නීය. පුතුනුවන් මැක්ස්ට අවුරුදු 21කි. ඔහු ජෝර්ජ් එෆ්.එම්. ගුවන් විදුලියේ ජනප්‍රිය නිවේදකයකි. එමෙන්ම ගායකයෙකි.

ජෝන් කීගේ බිරිය බ්‍රෝනා ප්‍රංශයේ සාර්කෝසිගේ බිරිය කාර්ලා බෘනි මෙන් මනරම් රුවකට හිමිකම් නොකියන බැව් සැබෑය. මිෂේල් ඔබාමා මෙන් අතිශය ජනප්‍රියත්වයකට පාත්‍ර වූ චරිතයක් ද නොවීය. එහෙත් දුටුවන් මන බඳින ආකර්ශනීය සිනහවක් උපතින්ම දායාද කොටගත් බ්‍රෝනා නවසීලන්තයේ ජන හදවත් අතර වෙනම ඉඩක් වෙන් කරගෙන ඇත්තේ ඇය සතු නිහතමානීත්වය නිසාවෙනි.

අනිත් අතට අමෙරිකාව මෙන් නොව නවසීලන්තයේ අගමැති ආර්යාවට වෙනම කාර්ය මණ්ඩලයක් හෝ වෙනම කාර්යාලයක් නොමැත. අගමැති බිරියකට ලැබෙන බව සිතෙන කිසිදු වරප්‍රසාදයක් එහි නොමැත. ඇය ද සෙසු නවසීලන්ත කාන්තාවන් මෙන්ම සාමාන්‍ය දිවි පෙවෙතකට හිම්කම් කියන්නීය. එසේ වුවත් ඇය නවසීලන්තයේ විසිත්ත කාමරයේ වැඩිපුර කතාබහට ලක්වන චරිතයකි.

එංගලන්තයේ ඩයනා කුමරියගේ සහ අමෙරිකාවේ ජැකී ඔනාසිස්ගේ මෙන්ම බ්‍රෝනා කී ගේ ඇඳුම් විලාසිතා ගැනත් නවසීලන්ත ගැහැනුන්ගේ වැඩි උනන්දුවක් යොමුවී තිබේ. තවමත් දඟකාර තරුණියක මෙන් හැඩවැඩ වන මේ සුන්දර ගැහැනිය එරට මහජන සේවයට කැපවූ ආදරණීය සැමියා වෙනුවෙන් සිය පවුල් ජිවිතයේ සියලු දුක් කරදර විඳ දරාගත් බව ඔවුහු දනිති.

සැබැවින්ම ඇය සැමියාගේ දේශපාලන ජිවිතයේ ජනප්‍රියත්වය මධ්‍ය යේ වුවත් ඔවුන්ගේ විවාහ ජීවිතයේ සහ පවුල් ජීවිතයේ ගරුත්වයත්, පෞද්ගලිකත්වයත් මැනවින් ආරක්ෂා කළාය. දැන් ජෝන්ගේ අරමුණ ඊට කෘතවේදිත්වය පළ කිරීමටය. අගමැති තනතුර අතහැර දැමීමෙන් ඔහු කළේ තම බිරිය වෙනුවෙන් ඔහුට කළ හැකි හොඳම දේය.

One thought on “ප්‍රේමය වෙනුවෙන් ජනාධිපතිකම හැරගිය කී ගේ පෙම් පළහිලව්ව

  • June 16, 2017 at 8:28 am
    Permalink

    I have never ever heard anyone refer to a rainbow as “God taking a wh.#2&z8i21; You should write greeting cards. And I am sorry, but I have no sympathy for someone who can afford a vacation to Hawaii. The only vacation I can afford is switching which side of the bed I sleep on. By-the-way, wasn’t Midge a friend of Barbie? (Love the dueling goats, though.)

    Reply

Leave a Reply

Your email address will not be published.