පාර්ලිමේන්තුවේ වැඩකට නැතිම මන්ත්‍රීවරු සියල්ල සන්ධානේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලීම මන්ත්‍රීවරුන් පස්දෙනා අතරට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් තේරී සිටිනවා. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන manthri.lk වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කළ නවතම මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම අනුවයි, ඒ බව අනාවරණය වෙන්නේ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ අධ්‍යයනය කර මෙම ශ්‍රේණිගත කිරීම නිකුත් කර තිබෙනවා. මෙවර එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජනතා හිමිවන්නේ විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ එක්සත් ජාතික පක්ෂයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරු පිළිවෙලින් දෙවැනි හා තුන්වෙනි ස්ථාන හිමිකරගෙන සිටිනවා. අගමැති රනිල් වික්‍රමසිංහට සිවු වැනි ස්ථානයත් ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට පස් වැනි ස්ථානයත් හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලීම මන්ත්‍රීවරුන්

පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරකම්වලට අවම දායකත්වය ලබා දුන් මන්ත්‍රීවරුන් ලෙසින් ශ්‍රේණිගත ලැයිස්තුවේ පහළින්ම සිටින්නේ තේනුක විදානගමගේ, සිරිපාල ගම්ලත්, නිශාන්ත මුතුහෙට්ටිගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්.

ඔවුන් පස් දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්.

ශ්‍රේණිගත කිරීම නිර්මාණය කළ වෙරිටේ රිසර්ච් (Verite Research) ආයතනයේ ප්‍රධානී නිශාන් ද මෙල් බීබීසී සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දක්වන අදහසට එකඟවිය හැකිද, නොහැකිද යන්න මෙම ශ්‍රේණිගත කිරීමේදී සලකා නොබැලු බවයි.

මන්ත්‍රීවරුන් 45 දෙනකු එක් ලිඛිත ප්‍රශ්නයක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන අතර මන්ත්‍රීවරුන් 214 දෙනකු අවම වශයෙන් එක් විවාදයකට හෝ සම්බන්ධ වී තිබෙනවා. කිසිදු පාර්ලිමේන්තු කටයුත්තකට සම්බන්ධ නොවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පහක්.

මන්ත්‍රීවරුන් 6 දෙනකු පමණක් සිටින ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් ශ්‍රේණිගත කිරීම් වලින් මෙතරම් ඉදිරියට පැමිණීම ගැන අදහස් දක්වමින් නිශාන් ද මෙල් පැවසුවේ විපක්ෂයට ලබාදෙන පාර්ලිමේන්තු කාලය ලබාගැනීමට අමතරව නිතරම ප්‍රශ්න ඉදිරිපත් කරමින් ක්‍රියාශීලීව කටයුතු කිරීම ඊට හේතු වී ඇති බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේ කටයුතු වලට දක්වන උනන්දුව පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.