පුංචි උනත් හරිම ගුණයි රතු දෙළුම් ඇටේ…

පලතුරු අතර සෞඛ්‍යසම්පන්න බවින් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන්නේ දෙළුම් ය. අනෙක් පලතුරු හා සම කළ නොහැකි, සිරුරට ඉතාමත් හිතකර සංයෝග මෙහි අඩංගු වේ. විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව ය.

බෙරි විශේෂයක් ලෙස සැලකෙන දෙළුම් ගෙඩියක් හොඳින් ඉදුණු විට දීප්තිමත්, දිලිසෙන සුලු රතු පැහැයක් ගනී. හොඳින් ඉදුණු දෙළුම් ඇට කෝප්පයක (ග්‍රෑම් 174 ක) , තන්තු ග්‍රෑම් 7ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 3ක්, විටමින් C දෛනික අවශ්‍යතාවයෙන් 30%ක්, විටමින් K දෛනික අවශ්‍යතාවයෙන් 36%ක්, ෆොලේට් දෛනික අවශ්‍යතාවයෙන් 16%ක්, පොටෑසියම් දෛනික අවශ්‍යතාවයෙන් 12%ක්, සීනි ග්‍රෑම් 24ක්, කැලරි 144ක් වැනි බොහෝ පෝෂණ කොටස් අඩංගු වේ.

පලතුරුවල කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රබල ශාක සංයෝග ද්විත්වයක් වන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවලින් ද දෙළුම් පරිපූර්ණ ය. අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස්, දෙළුම් යුෂවල සහ පොත්තේ බහුල වශයෙන් අඩංගු වේ. එය කොතරම් ප්‍රබල ද කිවහොත්, රතු වයින් හෝ හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බව මෙන් තුන් ගුණයකින් යුක්ත ය.

පිළිකාවට එරෙහිව සටන් වැදීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන පියුනිසාක් අම්ලය අඩංගු වන්නේ දෙළුම් ඇටවල ය. මේ නිසා ම පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා දෙළුම් ඇට මඟින් ලබා ගන්නා තෙල් යොදා ගැනේ. පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම, බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහිව දෙළුම් යොදා ගත හැකි බව මේ වනවිට පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ඒ අනුව පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාළ කිරීමේ හැකියාව දෙළුම් සතු ය.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක දී ඒ මඟින් නිපදවන PSA (prostate specific antigen) නම් ප්‍රෝටීනයේ නිෂ්පාදන වේගය ඉතාමත් කෙටි කලක් තුළ දී දෙගුණයක් වන අතර , පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන අයෙක් දිනකට දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් පානය කළහොත්, සති 15 කින් දෙගුණ වන PSA හි නිෂ්පාදන වේගය , සති 54 ක් දක්වා කල් යන බව ය.

දිනකට දෙළුම් යුෂ අවුන්ස 5 බැඟින් සති 2 ක් පානය කිරීමෙන්, ඖෂධ භාවිතයකින් තොරව අධි රුධිර පීඩනය අවම කර ගත හැකි බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. දෙළුම් යුෂ මඟින් දෙවැනි වර්ගයේ දියවැඩියාව පාලනය කරන අතර ම, හෘදයාබාධ ඇති වීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීම ද සිදු වේ. එසේ ම පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, සන්ධිවලට හානි කරමින් අස්ථි සන්ධිප්‍රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම සඳහා, දෙළුම් සාරය යොදා ගත හැකි බව ය. දෙළුම් යුෂ සහ ඇට මඟින් මතකය වර්ධනය කරන බව මෑත කාලීන පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ. අමතක වීමේ රෝගයෙන් පෙළුණු වැඩිහිටි පුද්ගලයන් 28 දෙනකුට දිනපතා දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් ලබා දෙමින් කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ, ඔවුන්ගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මතකයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ය.

උපදෙස් – ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published.