පුංචි ඡන්දයට ආයෙත් බාලගිරි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් තවත් මාස තුනක කාලයකට කල්දමා තිබෙනවා. මේ වසර තුළ පළාත් පාලන ඡන්දය නොපැවැත්වෙන බවට එම ගැසට් නිවේදනය ඉඟි පළ කිරීමක් බව දේශපාලන විචාරකයෝ පවසනවා. මේ සම්බන්ධයෙන් 2017 අප්‍රේල් 7දාතමින් පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2017 ජූලි 1 වැනිදා සිට බලාත්මක කෙරෙන බව නිවේදනය කර තිබුණා. එම ගැසට් නිවේදනය අවලංගු කරමින් 2017 ජුනි මස 30 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් මහ නගර සභා 23ක, නගර සභා 41ක හා ප්‍රාදේශීය සභා 271ක ඡන්ද විමසීම් බලාත්මක කිරීම 2017 ඔක්තෝබර් 1 වැනිදා තෙක් ඇමැති ෆයිසර් මුස්තාපා මහතාම කල්දමා තිබෙනවා. පළාත් පාලන ආයතන පනතට සංශෝධන එක් කිරීම සඳහා පනත් සංශෝධනයක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එම පනත කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කරන බවද පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා සඳහන් කරනවා. එම පනත සංශෝධනය කළ වහාම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පැවැති තාක්ෂණික ගැටලු අවසන් වන බැවින්, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීමට දින නියම කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් බලාත්මක කිරීම ඔක්තෝබර් 1 වැනිදා තෙක් කල් දමා ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බව සඳහන් කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නීති උපදෙස් ලබා ගන්නා බවත්, පනත් සංශෝධන තවමත් පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති බවත් පැවසුවා. පළාත් පාලන ඡන්ද විමසීමේදී පනතට අනුව විෂය භාර ඇමැතිවරයාට අත්තනෝමතික ලෙස මැතිවරණ කල්දැමීමේ කිසිදු බලයක් නොමැති බවත් මෙය ලැජ්ජාසහගත ලෙස මැතිවරණ සිතියම හකුළා දැමීමක් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළා. යහපාලන රජය මැතිවරණ සිතියම හකුළා දැමීමට කොපමණ කටයුතු කළද, ඔවුන්ට අවධාරණය කළ යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණය ජනමත විචාරණයකින් තොරව කල් දැමිය නොහැකි බව යැයි කීර්ති තෙන්නකෝන් මහතා පවසුවා. ලංකාවේ මැතිවරණ සිතියම හකුළා දැමීමට කොතරම් උත්සාහ කළද, 2019 නොවැම්බර් හෝ දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව, මැතිවරණ කල් දැමීමේ සකලවිධ උපක්‍රම සඳහා යොමුවෙමින් සිටින පාර්ශ්ව වෙත අවධාරණය කළ යුතුව ඇතැයිද තෙන්නකෝන් මහතා සඳහන් කළා.

2 thoughts on “පුංචි ඡන්දයට ආයෙත් බාලගිරි

Leave a Reply

Your email address will not be published.