බුකිය කැළබූ රාජකීයයන් පිළිගැනීමේ නීති

70 වන නිදහස් දිනයට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වන එංගලන්තයේ රාජකීය පවුලේ එඩ්වඩ් කුමරු හා ඔහුගේ ආර්යාව සොෆී කුමරිය පසුගිය 31 වනදා පස්වරුවේ ලංකාවට පැමිණියා. ඊයේ(01) දිනයේදී ඔවුන් දෙපල මහනුවර දළදා මාළිගාව හා පේරාදෙණිය උද්හිත උද්‍යානය නැරබීම සදහා පැමිණි අතර හෙට(03) දිනයේදී රත්මලාන අන්ධ විද්‍යාලයේ පැවැත්වෙන එම ළමුන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් ප්‍රදර්ශණයක් නැරබීමට පැමිණීමට නියමිතයි. ඉන්පසු 04 වනදා පැවැත්වෙන නිදහස් දින උත්සවයට සහභාගී වී ඔවුන් දෙපල රටින් නික්ම යාමට නියමිතව තිබෙනවා.

මෙම රාජකීයයන් පිළිගැනීමේ කටයුතු සංවිධානය කිරීමට මෙරටදී විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටුව මගින් නිකුත් කල බවට සැලකෙන රාජකීයයන් පිළිගන්නා ආකාරය හා නීති අඩංගු උපදෙස් පත්‍රිකාවක් නිසා මේවනවිට බුකිය රත්වී තිබෙනවා.

එම උපදෙස් හා නීති අඩංගු පත්‍රිකාවේ අඩංගු දෑ මෙසේය,

2018/01/31
සියලුම මහජනතාව වෙත කරන දැනුම්දීමයි.

මහා බ්‍රිතාන්‍යයේ රාජකීයයන් පිළිගැනීමට පිළිබදව ශ්‍රී ලංකාවාසී ජනතාව එතරම් හුරුපුරුදු නැති බැවින් ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

බ්‍රිතාන්‍ය රාජකීයයන්ව පිළිගැනීමට අදාල වන නීතිය වන්නේ රාජකීය ආචාර ආඥාපනත හෙවත් Royal Etiquette Ordinance ය. එඩ්වඩ් කුමාරයා සහ සොෆී කුමරිය අසළට පැමිණෙන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම පහත නීතීන් පිළිපැදීම අනිවාර්ය වේ.

01. ශරීරය මනාව වැසෙන පරිදි ඇදුමක් ඇද පැමිණෙන්න. පිරිමි අය ටයි කෝට් අදින්න.
02. රාජකීයයන් අසළදී හිස් වැසුම් ගලවන්න.
03. රාජකීයයන් නැගිට සිටියදී වාඩිවී සිටීමෙන් වළකින්න.
04. රාජකීයයන් අසලදී හඩ නගා කතා කිරීමෙන් වළකින්න.
05. නිතර හදන කුඩා දරුවන් රාජකීයයන් අසළට රැගෙන ඒමෙන් වළකින්න.
06. ජංගම දුරකථන සෑම විටම ක්‍රියා විරහිත කර තබන්න.
07. පිරිමින් රාජකීයයන් අසළට ගියහොත් එතුමන්ලාට කොන්ද නමා ආචාර කරන්න.
08. කාන්තාවන් රාජකීයයන් අසළට ගියහොත් එතුමන්ලාට දණහිසින් නැමී ආචාර කරන්න.
09. රාජකීයයන් අසළට පැමිණිවිට ආචාර කරන මොහොත හැර අන් සෑම විටම සීරුවෙන් සිටින්න.
10. රාජකීයයන් අසළින් යද්දී ඔවුන්ට පසුපස හැරවීමෙන් වළකින්න.
11. රාජකීයයන්ගේ මුහුණ දෙස එක එල්ලේ බැලීමෙන් වළකින්න.
12. රාජකීයයන් කතා කළොත් මිස ඔවුන්ට පළමුව කතා නොකරන්න.
13. රාජකීයයන්ව ස්පර්ශ කිරීමෙන් වළකින්න. මෙය අපරාධමය වරදකි.
14. අවසරයකින් තොරව රජ පවුලේ පින්තූර ගැනීමෙන් වළකින්න.
15. රාජකීයයන් පසුපස යාමෙන් වළකින්න.
16. රාජකීයයන් අහාර ගැනීමට මත්තෙන් අහාර ගැනීමෙන් වළකින්න.
17. රජ පවුල පිටව යාමට මත්තෙන් උත්සවයෙන් පිටවීමෙන් වළකින්න.
18. ඔවුන් අපගේ අවසන් රජවරුන් බව අමතක නොකරන්න. ඒ අනුව සෑම විටම ගරු කරන්න.

1972 දී ශ්‍රී ලංකාව පුර්ණ වශයෙන් නිදහස ලැබුවද, නව නීති මගින් සංශෝධනය නොවන අවස්ථා වලදී බ්‍රිතාන්‍ය නීති තවමත් ශ්‍රී ලංකාවට බලපවත්වන බැවින් ඉහත සදහන් රාජකීය ආඥාපනතේ වගන්ති උල්ලංඝනය කරන අයව අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලතල තිබේ. එලෙස අපහසුතාවයන්ට පත් වීමෙන් වැළකීමට ඔබට මෙම උපදෙස් සංග්‍රහය ප්‍රයෝජනවත් වේවායි සිතමු.

D .F .P. ද මෙල්,
ලේකම්,
බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව.

කෙසේවුවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙම පත්‍රිකාව කව්රුන් විසින් හෝ නිර්මාණය කරන ලද එකක් බවත් එය කාගේ හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්ය. එවැනි කමිටුවක් හෝ D .F .P. ද මෙල් නමින් ලේකම් වරයෙක්ද නොමැති බවත් ඔවුන් පවසනවා. රාජකීයයන් පිළිබදව යම් කිසි ආචාර විදි හා පිළිගැනීමේ සම්ප්‍රධායන් පැවතියත් කාලයත් සමග ඒවායේ වෙනස්කම් සිදුවී ඇති බවත් තවදුරටත් පැවසුවා.

අන්තර්ජාලය තුල ඇති සියල්ලක්ම විශ්වාස නොකරන ලෙසත් කිසිදු ලිපිනයක් හෝ කිසිදු දුරකථන අංකයක් සදහන කර නොමැති මෙවැනි ලිපියක් දුටු පමණින් විශ්වාස නොකරන ලෙසත් ඔවුන් ඉල්ලීමක් කරනවා. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය මගින්ද මේ පිළිබදව පරීක්ෂණයක් ඇරබීමට සුදානම් බව පවසනවා.

Leave a Reply

Your email address will not be published.