මට දෙපාරක් ගබ්සා වුණා – දමයන්ති ෆොන්සේකා

දමයන්ති ෆොන්සේකා යනු මෙරට කලා ක්ෂේත්‍රය තුල අමුතුවෙන් හදුන්වාදිය යුතු චරිතයක් නොවෙයි. ඇය සමග කළ කථාබහකින් උපුටා ගැනීමක් ලෙස මෙය අප පළකරමු.

ඔබේ අක්කා නිළි රැජන වෙන්නේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් ගොඩක් මැද්දේ. මවක් විදියට ඔබේ අම්මා ඒවා දරාගත්තේ කොහොමද?

ඔව්, අක්කාගේ පළමු විවාහයෙන් ඇය දික්කසාද වීමෙන් කාලෙකට පස්සේ ඇය විජය සමඟ ආදර සම්බන්ධය පටන් ගන්නවා. අම්මා ඒ ගැන හුඟක් දුක් වුණා. අක්කා රංගන ශිල්පිනියක් ලෙස සාර්ථක නිසා ඇයට මුදල් තිබුණා. ඇය ගෙදරට මුදල් දුන්නා. අම්මා ඒ කිසිම දෙයක් තැකුවේ නෑ. අක්කා නිළියක්, අක්කා මුදල් දුන්නා කියන කිසිම කාරණයක් එයාට වැදගත් වුණේ නැහැ. අම්මා කෑ ගැහුවා බැන්නා. ඒ වගේම අම්මා අපි හැමෝම වෙනුවෙන් දුක් වුණු හැටිත් අපි දැක්කා.

මට ඉන්නේ අම්මා විතරයි කියලා මුලින්ම දැනුණ දවස මතකද?

ඔව්, අපි හැමෝටම ප්‍රශ්න එනවා. මම විවාහ වෙද්දී ඒ විවාහය මට ප්‍රශ්නයක් වුණා. මම කියන්නේ මම විවාහයෙන් වෙන් වුණා කියන එක නෙවෙයි. ඒ විවාහ උත්සවය ගනිද්දී ගැටලු රැසක් ආවා. නමුත් මගේ සහෝදර සහෝදරියෝ හැමෝම මාව බලාගත්තා. ඒ හැමෝම ඉද්දීත් මට ඕන වුණේ අම්මගේ ශක්තිය. ඒ වෙලාවේ අම්මා මාත් එක්ක හිටියා.

අම්මා වැඩිපුරම ආදරේ කළේ කාටද?

මම හිතන්නේ අපේ අම්මා එහෙම කාටවත් විශේෂයක් කරලා ආදරේ කළේ නැහැ. එහෙම ආදරේ විශේෂ කරලා බෑනේ. එක කාලයක් එයා ශි්‍රයානි අක්කා ළඟින්ම හිටියා. අපිත් එතකොට හිතුවේ අම්මා ශි්‍රයාණි අක්කට ආදරේ වැඩියෙන් දෙනවා කියලා. මාලනී අක්කා හිටියේ වෙනම නේ. ඔන්න මාලනී අක්කා එන දවසට එයා රස කෑම හදනවා. එතකොට අපි හිතනවා මාලනී අක්කට තමයි වැඩිය ආදරේ කියලා. ඒත් එහෙම නැහැ. අම්මා අපි හැමෝටම එක වගේ ආදරේ කළා.

ඔබ මවක් වුණේ නැතත් ඒ හැඟීම විඳි මොහොතක අම්මව මතක් වුණාද?

ඔව්, මම දෙවතාවක්ම ගැබ් ගත්තා. ඒත් මට දරුවෝ නැහැ. පළමු වතාවේ මගේ දරුවා නැති වෙලා නැවත මම ගැබ් ගත්තම අම්මා මාව ගෙන්න ගත්තා එයා ගාවට. මම මහන්සි වෙනවා කියලා මට ෂූටින් යන්න දුන්නේ නෑ. එයා ළඟට වෙලා ඉඳගෙන මාව බලාගත්තා. ඒත් මට මවු පදවිය උරුම වුණේ නැහැ. හැබැයි මවු සෙනෙහස මොකද්ද කියලා මම අම්මාගෙන් ඉගෙන ගත්තා. අදටත් මගේ ජීවිතේ පූර්වාදර්ශය මගේ අම්මා.

අම්මාගේ අවසාන කාලසීමාව ගෙවුණු විදිය මතකද?

ඔව්. අම්මා අන්තිම කාලේ හිටියේ අපේ මහ ගෙදර. තාත්තා දුන්නු සල්ලිවලින් එයා ටිකෙන් ටික මහ ගෙදර ගොඩනැඟුවා. අපි අම්මාව බලාගන්න හැදුවම එයා ඒකට ඉඩ දුන්නේ නෑ. මට හොඳට මතකයි අම්මා කිව්වා ‘කවදාවත් මහ ගස් යට පොඩි ගස් හැදෙන්නේ නෑ’ කියලා. අන්තිමට අම්මා මාව සෑහෙන්න විශ්වාස කළා.

මොන තරම් දේවල් තිබුණත් අම්මා යම් දෙයක් ගැන පසුතැවුණා කියලා හිතනවද?

මම හිතන්නේ ඔව්. මගේ තාත්තා හරිම හොඳ කෙනෙක්. එයා උපයපු වැටුපෙන් බස් ගාස්තුව තියාගෙන ඉතිරි සියල්ලම අම්මට දුන්නා. නමුත් ඒ මොන දේ කළත් තාත්තා සම්බන්ධව මගේ අම්මා තුළ හිඩැසක්, හිස් තැනක් තිබුණා. මුදල් විතරක් නෙවෙයි, තනියට ළඟ ඉඳියි කියලා අම්මා ගැහැනියක් ලෙස තාත්තාගෙන් බලාපොරොත්තු වුණා. නමුත් ඒ දේ ඇයට ලැබුණේ නෑ. මම ඒ ගැන අදටත් දුක් වෙනවා. තාත්තා ඉඳලත් මගේ අම්මා තනි අතින් අත්පුඩි ගැහුවා.

Leave a Reply

Your email address will not be published.