රංගන ලංකාවට දිනා දුන් ඉතිහාසගත ජයග්‍රහණය

සිම්බාබ්බේ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් හෝරාවේදී ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. රංගන හේරත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව තරග වැදි පළමු තරගයම මෙලෙස ජය ගැනීම කැපී පෙනෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 537 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස සිම්බාබ්බේ කණ්ඩායම ලබාගත්තේ පළමු ඉනිමට ලකුණු 373 ක් පමණයි.

ලකුණු 164 ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට මේ අනුව හැකිවුණා. එහිදී දිමුත් කරුණාරත්න ශතකයක් වාර්තා කරමින් ඉනිම ශක්තිමත් කළා. ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියදි ඉනිම අත්හිටුවීමටයි කටයුතු කළේ.

ඒ අනුව සිම්බාබ්බේ කණ්ඩායමට ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 412 ක්. එහෙත් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ඔවුන්ට ඉතිරිව තිබුනේ අද දිනයේ කඩුලු ආරක්ෂා කර ගැනීම පමණයි.

එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දග කැවෙන පන්දු හමුවේ කඩුලු එකින් එක පූජා කරමින් සිම්බාබ්බේ පිතිකරුවන් තරගයේ පරාජය වැලද ගත්තා. අවසන් හෝරාවේදී අවසන් කඩුලු 4  දවා ගනිමිනුයි ශ්‍රී ලංකාව තරගයේ ජය සියතට ගත්තේ. මේ අනුව සිම්බාබ්බේ කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 186 ක් පමණයි.

හරාරේ ක්‍රීඩා පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලංකාව ලකුණු 225 ක ජයක් හිමිකරගත්තා. එය කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක / උප නායක හා බොහෝ ජේෂ්ඨ ක්‍රීඩකයින් නොමැතිව නවක නායකත්වයක් යටතේ නවක කණ්ඩායමක් සමගින් රටෙන් පිටතදී ලබා ගැනීමයි.

 

Leave a Reply

Your email address will not be published.