ලක්ෂ දෙකක් නියගයෙන් අවතැන්

වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් ප්‍රමාණය දෙලක්ෂය අභිබවා ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවට අනුව = දිස්ත්‍රික්ක 07ක පවුල් 51,561 කට අයත් පුද්ගලයන් 208,107 ක් පීඩාවට පත්ව සිටින බවයි දැක්වෙන්නේ.

පසුගිය 25 වැනි දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ දෛනික වාර්තාවට අනුව වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටියේ දිස්ත්‍රික්ක දෙකකට අයත් පවුල් 9,997 කට අයත් පුද්ගලයන් 34,809 ක් පමණයි. එහෙත් දින 07 කාලයක් ගත වනවිට දිස්ත්‍රික්ක ප්‍රමාණය 07 දක්වා ඉහළ ගොස් පවුල් 51,561 කට අයත් පුද්ගලයන් දෙලක්ෂය ඉක්මවා ගොස් තිබීම වියලි කාලගුණයේ බලපෑම වැඩිකරණ ස්වරූපය විදහා දක්වනවා.

මේ අතරින් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ පොලොන්නරුව දිස්ත්‍රික්කය වන අතර පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසක් එහි පීඩාවට පත්ව ඇතැයි සදහන්. දෙවන වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මඩකලපුවටයි.

 

මේ අතර වනෝද්‍යාන 22 අතරින් 18 කටම නියගය බලපෑම් එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් වන සතුන් රැසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අලි ගම්වැදීම ඉහළ ගොස් ඇති අතර වන සතුන් ගම්මාන කරා පැමිණීමේ වැඩිවීමක්ද මේ සමග දක්නට තිබෙනවා.

මාස කිහිපයකින් ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා මේ වන විට ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව සිය ධාරිතාවයෙන් අඩක් පමණ පහළ බැස ඇති අතර මේ හේතුවෙන් ඉදිරියේදී විදුලි බල ජනනයට බාධා මතුවීමේ අවදානමක් ද පවතිනවා.  මේ වන විට රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සියයට 47 දක්වා පහළ බැස තිබෙනවා. වික්ටෝරිය ජලාශයේ ජල මට්මට පවතිනුයේ 55% ක මට්ටමකයි.

රන්ටැඹේ ජලාශය සියයට 35% දක්වා අඩුවී ඇති අතර කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 62%ක මට්ටමක පවතිනවා.

බෝවතැන්න ජලාශයේ ජලධාරිතාව 15%ක පවතින අතර වලව ජලාශ පද්ධතියට අයත් සමනොළවැව හා උඩවලව ජලාශවල ජල ධාරිතාව 22% හා 11%ක මට්ටම්වල පවතින බව මහවැලි අධිකාරියේ දත්ත සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published.