වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජයට රජය ගන්න හදන තීරණය

බලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම හා වගකීම් විරහිත ක්‍රියාකලාපයට විරෝධය පා ඊයේ (22 වැනිදා) ආරම්භ කළ වැඩ වර්ජනය සයිටම් ජනසතු කරන තෙක්‌ අඛණ්‌ඩ වර්ජනයක්‌ දක්‌වා දීර්ඝ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඊයේ දහවල් පැවති එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී මෙම තීරණය ගත් බව එහි ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවා. මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නිසා රෝගීන්ට සිදුවන බලපෑමේ වගකීම බලධාරීන් භාරගත යුතු බවද ලේකම්වරයා සඳහන් කළා. වර්ජනය ක්‍රියාත්මක වන කාලසීමාවේ සියලු රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන බවද මාතෘ රෝහල්වල, ළමා රෝහලේ, පිළිකා රෝහලේ මෙන්ම වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළා. වැඩ වර්ජනය පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා තවදුරටත් පම්පෝරි දොඩවන්නේ නම් සියලුම අංශවල වර්ජන දියත් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. රටපුරා දැවැන්ත අර්බුදයක්‌ මතුකර ඇති ඩෙංගු රෝගය විශේෂිත හදිසි තත්ත්වයක්‌ සේ සලකා සියලු ඩෙංගු ප්‍රතිකාර කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්‌ඩව පවත්වා ගැනීමටද සංගමය තීරණය කර ඇතැයි සදහන්. බාහිර රෝගී අංශවල සහ උණ රෝගීන් හඳුනා ගැනීම සඳහා විශේෂිත වැඩපිළිවෙලක්‌ද සකස්‌ කර ඇතැයි එම සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා (21 දා) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණු සරසවි හා වෛද්‍ය සිසුන්ට පහර දීමට එරෙහිව ඊයේ (22 දා) සිට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දේශපාලන අරමුණකින් සිදු කරන ලද්දක්‌ බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (22 දා) පැවසුවා. මෙම වැඩ වර්ජනය හරහා පිට පළාත්වලින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවට පැමිණෙන වෛද්‍යවරුන්ට අවස්‌ථාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් මෙම වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටින බවත් ඇමැතිවරයා ඊයේ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීයා සිටියා. ඩෙංගු රෝගය පැතිර යන සමයක වර්ජනය කරන මොවුන් වෛද්‍යවරුන් නොවන බවත් ජනතාවද මේ සම්බන්ධව කුපිතව සිටින බවත් කී ඇමැතිවරයා මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනතාව නිසි පිළිතුරු සපයනු ඇතැයි සඳහන් කළා. ඩෙංගු මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව වෛද්‍යවරුන්ට ගැටලුවක්‌ ඇතිනම් එහි වගකීමද ඔවුන් භාර ගත යුතු බව ඇමතිවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.