ශරියා නීතියට විරුද්ධ වූ උතුරේ මුස්ලිම් කාන්තාවන්ට මරණ තර්ජන

ශ්‍රී ලංකාව තුළ ශර්යා නීතිය ක්‍රියාත්මක වුවහොත් මුස්ලිම් කාන්තාවන්ට දැඩි අසාධාරණයකට මුහුණ පෑමට සිදුවන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගම මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිකයින්ගේ සංගමයේ උතුරු පළාත් සභාපතිනියටත් එම සංගමයේ සාමාජිකාවන්ටත් මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවට ඔවුන් උතුරේ පොලීසි කීපයකටම පැමිණිලි කර ඇතැයි වාර්තාවනවා.

ජනමාධ්‍යවේදීන්ට සිය නම හෙලි කිරීමට අකැමැති වු සභාපතිවරිය කියා සිටියේ ශර්යා නීතිය තුළින් මුස්ලිම් වරුන් දැඩි පෞරුෂත්වයක් ආරෝපණය කරගෙන ඇති බවයි.

තම සංගමය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව කී සභාපතිවරිය විවාහයේදී ශර්යා නීතිය මගින් පනවා ඇති සියළු නීති රීති සංශෝධනය කළ යුතු වගද පෙන්වා දුන්නා.

මුස්ලිම් තරුණියන් වයස අවුරුදු 13 දී විවාහ කරගැනීමට ශර්යා නීතිය අනුව හැකියාව ඇතත් එය රටේ පවතින නීතියට ගැලපෙන අන්දමට වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමිය යුතු බව එම සංගමය පවසා තිබෙනවා.

එමෙන්ම මුස්ලිම් පුරුෂයෙකුට විවාහ ගණනාවක් කරගැනීමට ශර්යා නීතිය තුලින් අවකාශ ලැබී තිබීම නිසා දරුවන් සමග අනාථභාවයට පත්වන මුස්ලිම් කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද ඇය කියා සිටියා.

එම සංගමයේ නීතිඥ අමීර් ෆායිස් කියා සිටියේ රට තුළ විවිධ නීතිරීති ඇති ආකාරයටම ශර්යා නීතියටද පැවතීමට ඉඩක් ඇතත් ඉන් කාන්තාවන්ට හෝ වෙනත් පාර්ශ්වයකට අසාධාරණැයක් සිදුවන අන්දමට නීතියක් ක්‍රියාත්මක නොවිය යුතු බවයි.

මෙම මුස්ලිම් කාන්තා සංවිධානය රටපුරා අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වන අතර මේ අවස්ථාවේදී එම සංගමයේ පිරිසකට එල්ලවී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් තමන් කටයුතු කරමින් සිටින බවද කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.