ශ්‍රී ලංකාවට ක්‍රිකට් කණ්ඩායමක් නෑ. මේක ලොකු අඩුපාඩුවක්.

(ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ප්‍රයිම් ලංකා කළ විශේෂ හෙළිදරව්වක් මෙම ලිපිය තුලින් අනාවරණය කෙරේ. වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සිටි මොහුගේ අනන්‍යතාවය මේ මොහොතේ හෙළිකළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.)

ප්‍රශ්නය – වසර ගනනාවකට පස්සේ මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ඔබ මොකද හිතන්නේ.

උත්තරය – ශ්‍රී ලංකාවට ක්‍රිකට් කණ්ඩායමක් නෑනේ. ඒ නිසා ඒ ගැන කියන්න දේකුත් නෑ.

ප්‍රශ්නය – ඇයි අපේ ක්‍රිකට් කණ්ඩායම ? මේ දවස්වල පාකිස්ථානයත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන්නේ.

උත්තරය – එතන ඉන්නේ ශ්‍රී ලංකාවෙන් ගිය ක්‍රිකට් ක්‍රීඩකයෝ. අපේ කණ්ඩායමක් එහෙ නෑ.

ප්‍රශ්නය – හොඳ ප්‍රවේශයක්. ඇයි ඔබ එහෙම කියන්නේ.

උත්තරය – මට මතකයි 2000 වර්ෂයේදී අපිට ටිකක් ලොකු party එකකට යන්න තිබුණා. ඒ වෙලාවේ මම හිටියේ අර්ජුන එක්ක. අර්ජුන කිහිපදෙනෙකුට කතා කළා. අරවින්දටයි,ප්‍රමෝද්‍යටයි, හශාන්ටයි. කථා කරලා ඇහුවා මොකද්ද ඇඳගෙන යන ඇඳුම කියලා. අර්ජුන ලොකුවට ඇඳුම් ගැන හිතන කෙනෙක් නෙමෙයි. හැබැයි අරවින්ද ඉදිරිපත්වෙලා කිව්වා අපි අර ඈෂ් කලර් ටී ෂර්ට් එක අඳිමු කියලා. ඊට පස්සේ අර්ජුන ඒකට කැමතිවෙලා කට්ටියම එහෙනම් ඈෂ් කලර් ටී ෂර්ට් එක ඇඳගෙන යමු කියලා තීරණය කළා. කොහොමහරි එක එක්කෙනා කථාකරලා Team එකම එකම ඇඳුම ඇඳගෙන ආවා. මම මේක කිව්වේ එදා අපිට ක්‍රිකට් කණ්ඩායමක් හිටියා කියන්න. ඔයා අද පුළුවන්නම් ගිහිල්ලා එක ක්‍රීඩකයෙක් හම්බවෙලා කථා කරලා තව කාගේ හරි මොබයිල් නම්බර් එකක් ඉල්ලගන්න. ඔයාට හොයාගන්න බෑ. ඒ තරමටම ක්‍රීඩකයෝ අතර බැඳීමක් නෑ. ඉස්සර අපි ක්‍රීඩකයන්ගේ අම්මලා තාත්තලා පවා දන්නවා. match එකක් පරාද වුනහම ඒ අය දුක් වෙන්නේ කොහොමද කියලාත් දන්නවා. දැන් ඉන්න අපේ Team එක එක්කන් ගිහින් කොහේ හරි ලොකු කෑලවක අතාරින්න ඕනි. එතකොට කොහොමද කණ්ඩායමක් විදිහට එකතුවෙලා මේකෙන් එලියට එන්නේ කියලා ඒ අය හිතයි. එතකොට නිකන්ම කණ්ඩායමට හොඳ නායකයෙකුත් බිහිවෙයි. වැඩියෙන් Match ගහපු, වයස වැඩි කෙනා නෙමෙයි නායකයා වෙන්නේ. නායකයෙකුට වෙනම ලක්ෂණ තියෙනවා. එයාට පුළුවන් වෙන්න ඕන කණ්ඩායමට කතාකරන්න. නායකයා කියන දේ පිළිගන්න තත්වයක් කණ්ඩායම තුළ තියෙන්න ඕනි. නායකයා කියන කෙනා කණ්ඩායම තුලින්ම බිහිවෙන්න ඕනි. ක්‍රිකට් ආයතනය කරන්න ඕනි කණ්ඩායමත් එක්ක කතා කරලා ඒ කෙනාට වගකීම භාරදෙන එක විතරයි. මට මතකයි ඉස්සර දඟ පන්දු යවන්නෝ බෝල් කරනකොට අපේ සමහර පිතිකරුවන්ට හොඳට මුහුණ දෙන්න බැරි අවස්ථා එනවා. එතකොට එහා පැත්තේ ඉන්න අරවින්ද කියනවා තට්ටුවක් දාලා මේ පැත්තට එන්න මන් මූට ගහන්නම් කියලා. හැබැයි දැන් වෙන්නේ හැමෝම හොඳ පන්දු යවන්නන්ට හැංගෙන්න හදන එක. අනෙක් ඕන කෙනෙක්ව බිල්ලට දෙන එක. ඒකයි මම මුලින් කිව්වේ අපිට කණ්ඩායමක් නෑ කියලා. ඉතින් කණ්ඩායමක් නැතුව ක්‍රිකට් ගහලා දිනන්න බෑ.

ප්‍රශ්නය – එහෙනම් දැන් අපිට හොඳ කණ්ඩායමක් නෑ. ඒත් අපිට හොඳ ක්‍රීඩකයෝ ඉන්නවද?

උත්තරය – මට පේන විදිහට අපිට හිතාගන්නවත් බැරි තරම් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා.නිකන් හිතන්නකෝ ලෝකේ මිනිස්සුන්ගෙන් පහෙන් එකකින් තමයි ඉන්දියාව 11ක් තෝර ගන්නේ. හැබැයි අපේ ක්‍රීඩකයෝ ඒ Team එකටත් ගහනවනේ. ඇත්තටම ඒ කාලේ අරවින්ද, අර්ජුන, මුරලි,සනත් වගේ විශේෂ ක්‍රීඩකයෝ හිටියා තමයි. ඒත් දැන් ඉන්න සමහර ක්‍රීඩකයන්ට පුළුවන් ඒ අයටත් වඩා හොඳින් කරන්න. හැබැයි එකම දේ මේක Mind Game එකක් කියලා තේරුම් ගන්න ඕනි.ඒ කාලේ නම් දරාපු පන්දු යවන්නෝ විදිහට අපිට හිටියේ මුරලියි,වාසුයි විතරයි. හැබැයි ඒ වුනාට ලෝකේ හිටපු හොඳම පිතිකරුවෝ දවාගන්න සනත්ට, ධර්මසේනට,අරවින්දට,නැත්නම් ප්‍රමෝද්යට පුළුවන් වුනේ මේ ක්‍රීඩාව හරියට කියවපු නිසා. ඒ කාලේ බෝලේ අතට ගන්න මොහොතේදී ඒ අය දන්නවා අනෙක් පැත්තේ batsman මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ batsman ලවා කොහොමහරි වරදක් කරවාගන්න එක ඒ දවස්වල අපි කළා. ඒ දවස්වල උපුල් චන්දන,මහානාම,ධර්මසේන වගේ පන්දු රකින්නන් කොච්චර පීඩනයක් batsman ලට දෙනවද කියලා මතක ඇතිනේ. හැමවෙලාවෙම අපිට අනෙක් අයගේ විකට් එකක් ගන්න ඕනි වෙන්නේ හොඳම පන්දු යවන්නෙක් නෙමෙයි. හොඳම ක්‍රමයක්. වාසුත් 145 ට පන්දු යැව්වේ නෑනේ. ඒ වුනාට මොලෙන් පන්දු යැව්වා. දැන් ඉන්න පන්දු යවන්නන්ගෙන් මැතිව්ස් විතරයි ඒ වැඩේ හරියට කරන්නේ.

ප්‍රශ්නය – ඔබ කියන්නේ දැන් ක්‍රීඩකයෝ කණ්ඩායමට දෙන දායකත්වය මදි කියලද ?

උත්තරය – දායකත්වය මදි කියන්නේ අපේ ක්‍රීඩකයෝ ක්‍රිකට් කියන දේයි, තමන්ගේ කොටසයි හරියට තේරුම් අරන් නෑ. දැන් ඉන්න සමහර ක්‍රීඩකයෝ ක්‍රිකට් Act කරනවා. ඒ අය ක්‍රිකට් නළුවෝ. මට මතකයි අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම වෙනුවෙන් NCC එකේ තිබුණු උත්සවයේදී කියපු කථාවක්. අරවින්ද කිසිම වෙලාවක තමන්ගේ අමාරුකම් තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත්, විශේෂයෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමටත් පෙන්නුවේ නෑ කියන එක. එක අමාරු අවස්ථාවක තමන්ට වැසිකිලියට යන්න ලොකු අවශ්‍යතාවයක් තිබිලා අරවින්ද පැය දෙකකට වැඩි කාලයක් මේක ඉවසගෙන ජයග්‍රහණය වෙනුවෙන් හිටියා කියලා අරවින්ද හිනාවෙවී කිව්වා මට මතකයි. ඉතින් මේ වගේ අවංකව කවුරුහරි රට වෙනුවෙන් ක්‍රීඩා කලොත් තමන්ට කණ්ඩායමේ තැන නිකන්ම හැදෙනවා. අපේ අමාරුකම්, අපේ ප්‍රශ්න මුහුණෙන් පෙන්නන්න ගියොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ අනෙක් කණ්ඩායම. අපි ඉස්සරත් කථාවෙලා තියනවනේ හෂාන්, රොෂාන්,ගුරා වගේ අය කොච්චර බෝලේ ඇඟේ වද්දගෙන ඉවසලා ඉඳලා ඒ පන්දු යවන්නටම පස්සේ කොච්චර හොඳට ගහනවද කියලා. අනෙක් එක තමයි ගොඩක් අය කියන්නේ දැන් ක්‍රිකට් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් වෙනස් කියලා. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ක්‍රිකට් වෙනස් වුනත් අපි ක්‍රිකට් ගහනකොට හිතන්න ඕනි විදිහ වෙනස් වෙලා නෑ.

ප්‍රශ්නය – එතකොට දැන් ඉන්න කණ්ඩායමට දියුණු වෙන්න මොකද්ද කරන්න පුළුවන්.

පලවෙනි දේ තමයි කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කරන එක. ඒකට පුරුදු වෙන්න අමාරුයි. මොකද අද ලෝකයේ ගොඩක් භාහිර බැඳීම් එක්ක තමයි ක්‍රීඩකයෝ ජීවත්වෙන්නේ. ඒ දවස්වල අර්ජුන නායකයා වෙලා ඉන්නකොටත් අර්ජුනගේ හැමදේටම හැමෝම එකඟ වුනේ නෑ. හැබැයි ක්‍රීඩා කරනකොට Team එක කොහොමහරි එකට සෙල්ලම් කළා. දැන් අද සමහර ක්‍රීඩකයෝ පකිස්ථානයේ යන්න බෑ කියනකොට සමහර ක්‍රීඩකයෝ යන්න කැමති වෙනවා. A-Team එකේ ඉන්න සමහර ක්‍රීඩකයොත් යන්න කැමති වෙනවා. ඒකට හේතුව ඒ අයට තමන් ගැන විශ්වාසයක් නෑ කවදාහරි ශ්‍රී ලංකා කණ්ඩායමට ගහනවා කියලා. ඒ නිසා කොහෙන් හරි හම්බවෙන Chance එකකින් ගොඩ යන්න හදන්නේ. එතකොට කණ්ඩායමක් හදාගන්න කවදාවත් බෑ. අනෙක් එක හොඳ කණ්ඩායමක් එකට කාලයක් සෙල්ලම් කලොත් තමයි ක්‍රීඩකයෝ එකිනෙකා හඳුනාගෙන විශ්වාසයෙන් ක්‍රීඩා කරන්නේ. අනෙක් ක්‍රීඩකයට අමාරු වෙලාවට කතාකරලා ඒ වෙලාවේ කරන්න ඕනි දේ දැනගන්නනම් මේ බැඳීම අවශ්‍යයි. නැත්නම් බොරුවට Run -Out වෙන එකයි,තේරුමක් නැති බෝලේකට Out වෙන එකයි වෙන්නේ. අපි හැම වෙලේම ක්‍රිකට් ගහනකොට මතක තියාගන්න ඕනි දේ තමයි අනෙක් කණ්ඩායමටත් Plan එකක් තියනවා කියන එක. ලංකාවේ මේ ගැන නොහිතන දක්ෂතම ක්‍රීඩකයා තමයි තිසර පෙරේරා.

ප්‍රශ්නය -ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මොකක්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන්.?

මේ වෙලාවේ තියෙන්නේ අපේ ක්‍රීඩකයන්ගේ නොසැලකිල්ල. ඒක හැම පැත්තකින්ම පේනවා. බලන්න පකිස්ථානය එක්ක තිබුණු තුන්වෙනි Match එකේදී දික්වැල්ල නිකන් බෝලේ විසිකරලා කපුගෙදරට වෙච්ච දේ. අකිල ධනන්ජයට විකට් එකක් ගන්න තිබුණ Chance එක දික්වැල්ලගේ අතින් miss වුන හැටි. මට හිතෙන හැටියට දික්වැල්ලට ලංකාවෙන් බිහිවුන හොඳම විකට් කීපර් බැට්ස්මන් වෙන්න පුළුවන්. හැබැයි එතනට ඔළුව හදාගන්න ඕනි. එයා හිතන්න ඕනි මම එක තරගයක් ඕවර 50 ම ගහනවා කියලා. එහෙම නැත්නම් එයාගේ අනාගතේ රැඳෙන්නේ ක්‍රිකට් ආයතනයේ එයාගේ ලොකු නෑයෙක් හිටියොත් විතරයි. ඔබ ඇහුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන. මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් කියන්න හේතුවක් නෑ. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තියෙන එකම ප්‍රශ්නේ ඒ අයට ගොඩක් Option තියෙන එක. ගොඩක් Option තියාගෙන අපි මොන වැඩේ කරන්න ගියත් ඒකේ අවසන් ප්‍රතිඵලය ආසාර්ථකත්වය. දැන් අපිට මැතිව්ස්,තරංග,චන්දිමාල්,කුසල් වගේ නායකයෝ ගොඩක් ඉන්නවා. පිතිකරුවෝ වගේම පන්දු යවන්නොත් ගොඩක් ඉන්නවා. ඉතින් කණ්ඩායමක් හදාගෙන ඉස්සරහට යන්න මේක ලොකු බාධාවක්. මට ලඟදි හමුවුන ක්‍රීඩකයෙග්ගෙන් මම ඇහුවම ”කොහොමද” කියලා එයා කිව්වේ “අපෝ ගිනිගොඩක ඉන්නේ ……..”.කියලා. ඔයාට මතක ඇතිනේ අපි වර්ල්ඩ් කප් එක දිනපු Team එක. ඇත්තටම ඒ දවස්වල අපිට කිසිම Option එකක් තිබුන් නෑ වගේ. එක්කෙනෙක් හරි වෙනස් කලොත් එයා දන්නවා එයා මොකද්ද කරන්න ඕනි කියලා. ඉන්දියාවට ඕනනම් හැම තරගයකදීම වගේ ක්‍රීඩකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් මාරු කරන්න පුළුවන්. හැබැයි ඒත් එහෙම කරන් නෑනේ. මේ වෙලාවේදී ක්‍රිකට් ආයතනය කරන්න ඕනි කොහොමත් මිනිස්සු අපිට දොස් කියන එකනේ කියලා හිතාගෙන බය නැතුව හරි තීරණයක් ගන්න එක.

One thought on “ශ්‍රී ලංකාවට ක්‍රිකට් කණ්ඩායමක් නෑ. මේක ලොකු අඩුපාඩුවක්.

  • November 15, 2017 at 10:01 pm
    Permalink

    We absolutely love your blog and find the majority of your post’s to be what precisely I’m looking
    for. can you offer guest writers to write content for yourself?
    I wouldn’t mind composing a post or elaborating on most of the
    subjects you write regarding here. Again, awesome blog!

    Reply

Leave a Reply

Your email address will not be published.