සනත් රට හැර ගියේ ඇයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා නිමාවූ ඔස්ට්‍රේලියානු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පෙර විදෙස් ගතවීමට කටයුතු කර තිබෙනවා. ඒ තේරීම් සදහා සිදුවන බලපෑම්වලට විරෝධය පළකරමින් බවයි වාර්තා වන්නේ.

සනත් තේරීම් කමිටු සභාපති වූ පසු ශ්‍රී ලංකාව ලැබූ විශාලතම ජයග්‍රාහණය වූයේ සංචාරක ඕස්ට්‍රේලියාවට එරහිව ලැබූ ටෙස්ට් තරගාවලි ජයයි. එහෙත් පසුව එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලි දෙකම ශ්‍රී ලංකාව නොසිතූ ලෙස පරාජයට පත්වුණා.

ටෙස්ට් තරගාවලිය සදහා කණ්ඩායම තේරීමේදී සියළුම අංශවල උපදෙස් ලබාගැනීමටයි තේරීම් කමිටුව කටයුතු කර තිබුණේ. තණතීරු සැකසීමේ ක්‍රියාවලිය පවා සිදුකරනු ලැබුවේ තේරීම් කමිටුවට අවශ්‍ය ලෙස බවයි තේරීම් කමිටු සාමාජිකයකු ප්‍රයිම් ලංකා වෙත කියා සිටියේ. එහෙත් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයෙන් පසු සියළු දේ වෙනස් වී තිබෙනවා.

ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත්තේ සියළු අංශ ස්වාධීනව කටයුතු කරන ලෙසයි. පන්දු යවන්නන්ගෙන් යුතු කණ්ඩායමක් තේරීම් කමිටුව නම්කරන විට තණතිල්ල පිතිකරුවන්ට යෝග්‍ය ලෙස සැකසීම සිදුව ඇත්තේ ඒ අනුවයි. මේ අනුව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පරාජයන්ගේ වගකීම් භාරගත යුතු බවයි තේරීම් කමිටු සාමාජිකයා කියා සිටියේ.

එමෙන්ම අවස්ථා කිහිපයකදීම නවක ක්‍රීඩකයින්ව කණ්ඩායමට එක්කරන ලෙස ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු බලපෑම් කළ බවත් ඔහු කියා සිටියා. එම නිලධාරියා දේශපාලනයට ක්‍රිකට් පටලවා ගැනීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තේරීම් සිදුකිරීම සදහා නවක ක්‍රීඩකයින්ගෙන් තේරීම් කමිටුවේ එක් නිලධාරියකු අල්ලස් ලබාගන්නා බව වාර්තා වනවා. එහෙත් තේරීම් කමිටු සාමාජිකයා කියා සිටියේ එය තහවුරු කිරීමට කිසිවකුටත් නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published.