සමාව ගන්න – ජනපති / මට බෑ – රංජන්

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිවූ දුරකථන සංවාදයේදී තමන් අතින් වරදක් වී ඇත්නම් ඇයගෙන් සමාව ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. එහෙත් ජනතාවගේ ළිං දිය සිඳෙන ලෙස පස් කැපීමට අවසර දුන් රාජ්‍ය නිලධාරිනියකගෙන් තමන්ට සමාව ඉල්ලිය නොහැකි බව එතුමන්ට දන්වා සිටි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, දිවුලපිටිය, අකරගමදී එහි ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිවූ දුරකථන සංවාදයකදී ඇතිවූ වචන හුවමාරුව පිළිබඳව‘ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම මාධ්‍ය හමුව මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී පැවැත්විණා.

‘දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිකර ගත් ගැටුම කුමක්ද? එහිදී මා අතින් වරදක් සිදුව ඇත්නම් ඇයගෙන් සමාව ඉල්ලා එය සමථයකට පත්කර ගන්නා ලෙස මා අමාත්‍ය පී. හැරිසන් මහතාගේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ජනාධිපතිතුමා මගේ ජංගම දුරකථනයට ඇමතුමක්දී ඉල්ලා සිටියා. ජනතාවගේ ළිං දිය සිඳෙන අයුරින් පස් කැපීමට අවසර දුන් රාජ්‍ය නිලධාරිනියකගෙන් සමාව ඉල්ලිය නොහැකි බව එතුමාට කාරුණිකව දැනුම් දුන්නා.

දිවුලපිටිය මගේ දේශපාලන කොට්ඨාසය තුළ සිදුවූ පරිසර හානිය පිළිබඳව පරික්ෂා කිරීමට රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු පැමිණෙන විට එහි ප්‍රධාන රාජ්‍ය නියෝජිතවරිය වන ඇයට එම අවස්ථාවට සහභාගි වීමේ යුතුකමක් හා වගකීමක් තිබුණා. නමුත් ඇය එය මගහැරියා. ඒ වනවිට අකරගම ජනතාව මෙම අනවසර පස්කැපීම පිළිබඳව ඇය පලකළ ප්‍රතිචාරයන් ගැන මා දැනුවත් කර තිබුණා. මට පමණක් නෙමෙයි, එම ජනතාව මේ අනවසර පස් කැපීම පිළිබඳව නිරන්තරයෙන් පැමිණිලි කරන විට ඇය තමන්ගෙ දුරකථනය විසන්ධි කිරීමේ ක්‍රියාදාමයකට යොමුව සිටි බව එතැන සිටි ජනතාව මට කිවුවා.

ඇය වගේම මමත් ජනතා බදු මුදලින් දීමනා ලබන දෙන්නෙක්. එහිදී රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට සවන් දිය යුතුයි. අන්න ඒ උතුම් වගකීමයි දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය පැහැර හැරියෙ. ඒ මොහොතේ මා වෙතින් පළවුණේ ජනතාව වෙතින් එතුමියගේ ක්‍රියාකලාපය අරබයා ඇතිව තිබූ කලකිරීම මිස ද්වේශයක් නෙමෙයි.

මෙම ප්‍රදේශයේ පස්කැපීම හේතුවෙන් ළිං සිඳී ජනතාව බොහෝ දුක් විඳිනවා. ඔවුන් මෙම පස් කැපීම හේතුවෙන් දිය උල්පත් සිඳීයෑම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළත්, ඇය ජනතා හඬට සවන් නොදී මුණිවත රකිනවා. ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, ඔහුගේ පියා හේරත්, සහෝදරයා තුසිත සහ මස්සිනා වසන්ත දංගල්ල යන අය විශාල ලොරි, ටිපර්, කැටපිලර්, පස් කපන යන්ත්‍ර සහ වාහන ගණනාවක් තබා ගෙන දිවුලපිටිය ප්‍රදේශයේ විශාල පරිසර සංහාරයක් කාලයක් පුරා සිදුකරනවා. අද විශාල වශයෙන් මුදල් උපයා තිබෙනවා. ඒ පළාතේ රාජ්‍ය නිලධාරීන් ඔවුන් අල්ලා ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම්වරයෙක් එක් කොට්ඨාසයක වසරක කාලයක් පමණයි සේවයේ නියැළෙන්නෙ. එහෙත් මෙම ලේකම්වරිය එක දිගට වසර හතක් දිවුලපිටිය කොට්ඨාසයේ සේවය කරනවා. මෙතැන කපන පස්වලින් තමයි මුතුරාජවෙල අනවසරව ගොඩකරන්නෙ. මෙම පස් කැපීම රටට පරිසරයට විශාල හානියක්. එය වැළැක්වීම දේශපාලඥයන්ගේ වගකීමක් වෙනවා.

විල්පත්තු වනය විනාශ කිරීමේ අපේ ඇමතිවරයා රිෂාඩ් බදියුදීන් කළේ වරදක්. එහි සිංහල පිරිසට එක හැන්දකින් සහ මුස්ලිම් පිරිසට තවත් හැන්දකින්ං බෙදුවා. මා බැඳුම්කර සිද්ධියේදී අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් මහේන්ද්‍ර විශාල දූෂණයක් සිදුකර යහපාලන රජයට අපකීර්තියක් ගෙන ආ බව කීමට පැකිළෙන්නෙ නැහැ.” යැයි පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published.