සාලාව පිපිරීමෙන් විපතට පත්වූවන්ට මිලියන 1179 ක්

සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරී යාම හේතුවෙන් හානිවූ නිවාස 2031ක් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 1179 ඉක්මවූ මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව කර ඇති තක්සේරුව පදනම් කරගනිමින් මෙම වන්දි ලබා දීමට නියමිත යි. එලෙස වන්දි ලබා දීම  සඳහා ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

හානිය රුපියල් ලක්ෂය දක්වා වූ නිවාස 1404කට රුපියල් මිලියන 30 ඉක්මවූ මුදලක් ද, හානිය රුපියල් ලක්ෂයේ සිට මිලියනය දක්වා වූ නිවාස 390කට රුපියල් මිලියන 120 ඉක්මවූ මුදලක් ද, හානිය රුපියල් මිලියනයට වැඩි නිවාස සඳහා රුපියල් මිලියන 1029ක් ද වශයෙන් මෙම වන්දි මුදල් ලබා දීමට නියමිත බව ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක ඇමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ.

සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් අංශ තුනක් යටතේ සිදුකෙරෙන පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ‍නිකුත් කර නොමැති බවත් ඇමැතිවරයා කීයා සිටියා. මෙහිදී අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ සාලාව පිපිරීමෙන් විපතට පත් පවුල් 608කට මුල් අදියරේදී රුපියල් පනස්දහස බැගින් වන්දි ගෙවා අවසන්ව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.