සැකකරුවන්ට දරුණු වදහිංසා – ගින්දරට ගින්දර

ප්‍රශ්න කිරීමේ ක්‍රමයක් වශයෙන් ‘වොටර් බෝර්ඩින් ‘ (waterboarding) සාර්ථක විධි ක්‍රමයක් බව විශ්වාස කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “ගින්දර සමග සටන් කළ යුත්තේ ගින්දරින්මයි” යැයි පවසනවා. ABC මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කළේ අන්තවාදයට එරෙහිව නීත්‍යානුකුලව සටන්වැදීම පිණිස කළයුත්තේ කුමක්දැයි ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සහ CIA අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ සමග සාකච්ඡා කරන බවයි. කෙසේවුවද හිටපු CIA අධ්‍යක්‍ෂ ලියොන් පැනේටා මෙය හඳුන්වාදෙනු ලැබුවේ, වධහිංසා පැමිණවීමට අදාළව “පසුගාමී පියවරක් අනුගමනය කිරීම බරපතල අත්වැරැද්දක්” ලෙසින්.

” ඔවුන් වෙඩි තියනකොට, අපේ මිනිසුන්ගේත් අන් අයගේත් හිස් සිඳිනකොට, මැදපෙරදිග ඉන්න ක්‍රිස්තියානි බැතිමතුන් වීම නිසාම මිනිසුන්ගේ ගෙළ කපා දමන කොට, මධ්‍යතන කාලයෙන් මෙපිට අපි අසා නැති ආකාරයේ දේවල් අයිසිස් කණ්ඩායම කරනකොට, ‘වෝටර් බෝර්ඩින්’ ක්‍රමය තද වැඩියි කියල මට දැනෙයි ද?” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ප්‍රශ්න කළා.

“මම රහස් ඔත්තුසේවාවල ඉහළම නිලධාරීන්ගෙන් අහනකොට ‘මේ වධහිංසා දීමේ ක්‍රමය’ සාර්ථකද කියල, ඔවුන්ගේ පිළිතුර වුණේ ‘සත්තකින්ම ඔව්’ කියන එකයි”

“මම පොම්පියෝ සහ මැටිස් ඇතුළු මගේ කණ්ඩායමගැන විශ්වාසය තබනවා. ඔවුන්ට එය කරන්නට අවශ්‍ය නැතිනම්, කමක් නැහැ. ඔවුන්ට එය අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මම ක්‍රියා කරනවා.”

“මට අවශ්‍ය නීත්‍යානුකුලව කරන්න පුළුවන් සීමාව තුළ හැමදේම කරන්න. නමුත් ඇත්තටම මට හිතෙන්නේ මේක සාර්ථක බවයි.”

ජනාධිපතිවරණ සමයේ රුපවාහිනී විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අඟවා තිබුණේ ත්‍රස්තවාදී සැකකරුවන් සඳහා ‘වෝටර් බෝර්ඩින්’ වැනි දැඩි ක්‍රම යොදාගන්නා ලෙස ඇතැම්විට හමුදාවන්ට උපදෙස් දෙනු ඇති බවයි.

එහෙත් පසුව සිය ස්ථාවරය මෘදු කළ ඔහු පවසා තිබුණේ හමුදාවට ජාත්‍යන්තර නීති කඩ කිරීමට තමා උපදෙස් නොදෙනු ඇති බවයි.

‘වෝටර් බෝර්ඩින්’ යනු යමෙකුගේ මුහුණට නොකඩවා දිය වත්කරමින් දියේ ගිලීම වැනි තත්වයකට පත්කර ප්‍රශ්න කිරීමේ උපක්‍රමයක්.

එය වධහිංසා දීමේ ක්‍රමයක් ලෙස පිළිගැනෙන අතර ඇමරිකාව විසින් තහනම් කරනු ලැබුවා.

 

Leave a Reply

Your email address will not be published.