සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ මලගම

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙසින් ඉදිවූ සූරියවැව මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය අද වනවිට ක්‍රිකට් තරග නොපවත්වන, දේශීය සංචාරකයන්ගේ සංචාරක ස්ථානයක් පමණක් බවට පත්ව දිනෙන් දින විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු හා ක්‍රීඩා ලෝලීහු චෝදනා කරනවා. විශාල මහජන මුදලක් වැයකර ඉදිකළ මෙම ක්‍රීඩාංගණය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දිනෙන් දින විනාශය කරා යාමට ඉඩහැර තිබෙන්නේ  එහි යන සියලුදෙනාගේ හදවත් කම්පා කරවමිනුයි.

මේ වනවිට ක්‍රීඩාගාරය තුළ හා අනෙකුත් ස්ථාන පරවියන්ගේ රජදහනක් බවට පත්ව තිබෙනවා. ක්‍රීඩාගාරය තුළ තැනතැන ප‍ෙරවියන් මැරී වැටී කුණු වී ඇති අයුරු, අද එහි යන සියලුදෙනාට සුලබව දැකගත හැකියි. එමෙන්ම ප‍ෙරවියන් බිත්ති අපවිත්‍ර කර ඇති අතර, බිමට එලා තිබෙන කාපට්, විදුලි උපකරණ, මේස පුටු හා ක්‍රීඩාගාරයේ ස්ථාන ගණනාවක්ම විනාශය කරා ගොස් ඇත්තේ බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසයි. suriyawawa-mahinda-rajapaksha

වර්තමානය වනවිට ක්‍රීඩාංගණයේ ආරක්‍ෂාවට ආරක්‍ෂක අංශ යොදවා ඇති අයුරු දැකගත හැකි වුවද, ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු හා පරිපාලන කටයුතු සිදුවන බවක් නම් පෙනෙන්නට නැහැ.  එමෙන්ම මීට මාස කිහිපයකට පෙර මෙම ක්‍රීඩාංගණය භාර නිලධාරියාද ඉවත් කළ අතර, අද වනවිට නමට පමණක් සීමා වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට සූරියවැව ක්‍රීඩාංගණය පත්ව තිබෙනවා.

රුපියල් මිලියන 4,283 ක පමණ විශාල ධනස්කන්දයක් වියදම් කරමින් ඉදිකළ මෙම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, අද වනවිට තනිකරම සුදු අලියෙකු පමණක් බවට පත්ව තිබෙන්නේ කාගේ වරදක් නිසාද යන්න ගැටලුවක්. 2011 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉදිකළ මෙම ක්‍රීඩාංගණය, විවෘත කිරීමෙන් පසු මේ දක්වා එක්දින තරග 17ක් හා විස්සයි20 තරග 07ක් පවත්වා තිබෙනවා.

සූරියවැව ඉදිවූ මෙම ක්‍රීඩාංගණය සඳහා අක්කර 47ක පමණ භූමිභාගයක් වෙන්කර ඇති අතර, ක්‍රීඩා ලෝලීන් 35,000කට පමණ එකවර තරග නැරඹීමේ හැකියාව පවතිනවා. එමෙන්ම ක්‍රීඩා පිටියද මීටර 100ක දිගින් හා මීටර් 100ක පළලකින්ද යුක්තයි. දිවා රාත්‍රී දෙකෙහිම තරග පැවැත්විය හැකි අයුරින් ස්ථාපිත කර ඇති නවීන විදුලි ආලෝක පද්ධතියකින් සමන්විත මෙම ක්‍රීඩාංගණය මෙලෙස භාවිතයට නොගෙන අතහැර දමා තිබීම ක්‍රීඩාවට සිදුකරන අපරාධයක්.suriyawawa-mahinda-rajapaksha-2

ක්‍රිකට් තරග නෙපැවැත්වීම නිසා පසුගිය කාලයේදී මෙහි ගොඩනැගිලි දිනකට රුපියල් 10,000ක මුදලකට මංගල උත්සව සඳහා ලබාදීමට බලධාරීන් තීරණය කළද, ඉන් ක්‍රීඩාංගණයට ආදායකමක් හිමිවී නැහැ.

ක්‍රිකට් තරග නොපැවැත්වුවද, මෙහි නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් එක්කෝටි අනූනව ලක්‍ෂයක පමණ මුදලක් වාර්ෂිකව වියදම් කෙරෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණා.

දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සඳහාද ක්‍රීඩාංගණයක් ලෙස සූරියවැව නම්කර තිබුණද, ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඒ සඳහා ක්‍රීඩාංගණය සූදානම් කරන බවක් පෙනෙන්නට නැහැ. කෙසේවෙතත් විශාල මහජන මුදලක් වියදම් කර ඉදිකළ මෙවැනි මහජන දේපොළක් විනාශයට යාමට ඉඩහැර තිබීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි බව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන්ගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published.