හනිමුන් යද්දී මනාලයා හෘදයාබාදයකින් මරුට

වසර තුනක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධය මල්ඵල ගන්වමින් විවාහ දිවියට ඇතුළත්ව සිය මනාලිය තම නිවසට කැන්දාගෙන එන අතරතුරදී මනාලියගේ දෑත මත මනාලයා හෘදයාබාධයකින් මිය යෑමේ සිදුවීමක් ඉබ්බාගමුව තලහින්න ගම්මානයෙන් වාර්තා වනවා.

මනාලයා ඉබ්බාගමුව තලහින්න පදිංචි පී.ඒ. ඉසුරු සම්පත් රණතුංගයි. වයස අවුරුදු 25කි. මනාලිය දකුණේ මාතර හක්මන පනම්විල ග්‍රාමයේ 24 හැවිරිදි දිනේෂා සඳමාලියි.

මෙම වියෝව පිලිබද අප දිනේෂාගෙන් විමසා සිටියා.

අපි දෙන්නා 2014 කතරගම වන්දනාවේ ආවා. එදා තමා ඔහුත් මාත් ප්‍රථමවරට දැක්කේ. දැක්කදාම මගේ හිත ඇදිලා ගියා. ඊට පස්සෙ ඔහු එක්ක කතා කළා. ඉසුරුගේ දුරකථන අංකය මට දුන්නා. ඉතින් අපි දුරකථනයෙන් නිතරම කතා කළා. ඊට පස්සේ එයා දෙමාපියන් සමග අපේ නිවසට ආවා. ඇවිත් විවාහයට කැමැත්ත පළකළා. 6 වැනිදා තමයි විවාහ උත්සවය ගත්තේ. එයා මාත් එක්ක විහිළු කරමින් ඩාන්ස් කළා. අපි ඉබ්බාගමු එන්න පිටත් වුණේ සවස 3.30ට විතර. මාතර අධිවේගී මාර්ගයේ ලස්සන තැනක් දැකලා පින්තූර ටිකක් ගනිමුයි කියලා අපි පින්තූර ගත්තා.  ඒ තමයි අවසාන වතාවට ගත් පින්තූර. ඇහැළියගොඩ නගරයට එනකොට රෑ 8.30ට විතර ඇති. අපි දෙන්නා අනාගතය ගැන විවිධ කතා  කියමින් විහිළු කරගනිමින් ආවේ. එකපාරටම එයා මට මහන්සියි මං ටිකක් නිදාගන්නවා ඔයාගේ කරට හේත්තු වෙන්නම් කියලා මගේ කරට ඔළුව තියාගත්තා. මට වෙනසක් දැනුණා. වාහනය නතර කරන්න කියලා අනෙක් අයටත් දැනුම් දුන්නා. එයාට සිහිය නැහැ. අපේ ඥාතීන් ඉසුරු ඉක්මනට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළා. දොස්තර මහත්වරු කීවා වැඩක් නෑ. හරිම කනගාටුයි. මිය ගිහිල්ලා කියලා. අනේ මට කතා කරන්න බෑ. දිනේෂා හඬන්නට වූණා.

අපි නැවත ඇය සමග කතා කරමින් වෙහෙසීමට නොගියෙමු.

Leave a Reply

Your email address will not be published.