100 වන උපන්දිනය සමරන “මාරම්බරී”

ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කියන්නේ ටිකක් විශේෂ දෙයක්. ඒක පුද්ගල ගී ප්‍රසංගයක් 100 පාරක් පවත්වනවා කියන්නේ තවත් සුවිශේෂී දෙයක්. ඒවගේ දුර්ලභ සුවිශේෂී අවස්ථාවක් උදාකරගන්න අපේ රටේ ප්‍රවීණ කලාකරුවෙකුට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ගී ප්‍රසංගය “මාරම්බරී”. ඒ සුවිශේෂී කලාකරුවා එඩ්වඩ් ජයකොඩි.

ජනවාරි 28 වැනි ඉරිදා සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී 100 වැනි “මාරම්බරී” ගී ප්‍රසංගය පවත්වන්න සියලුම කටයුතු සුදානම් කරලා.

70 දශකයේ අග භාගයේදී කලා ලොවට පිවිසි එඩ්වඩ් ජයකොඩි එදා මෙදා තුර සංගීත ලෝකයට දායාද කර ඇති ගීත අති විශාලයි. මුල් අවදියේදී අමරදේවයන් ගේ ‘ශ්‍රවණ රමණි’ ප්‍රසංගයේත් වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයේත් අත්වැල් ගායනයන්ට දායක වී ප්‍රවීණයන් ඇසුරෙන් හොද පන්නරයක් ලබාගත් එඩ්වඩ් ජයකොඩි තමාගේම ප්‍රසංගයක් අරම්භකිරීමට එම අත්දැකීම් අත්වැලක් කරගන්න ඇතී.

“මම “මාරම්බරී” නමින් ඒක පුද්ගල ප්‍රසංගය ආරම්භ කළේ 2010 වසරේ ජනවාරි මාසයේදීයි. ඒ මම කලා ලොවට පිවිසිලා වසර තිස් පහක පමණ කාලයක් ගත වූවාට පසුවයි‍. ඒ වෙනකොට මම වෙනත් ශිල්පි, ශිල්පිනියන්ගෙ ඒකපුද්ගල ගී ප්‍රසංග කීපයක්ම නරඹා රස විඳල තිබුණා. එයින් අමරදේවයන් හා නන්දා මාලිනියගේ ‘ශ්‍රවණාරාධනා’ හා වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංග තුළින් මට විශාල රසයක් ලැබුණා. එවැනි අවස්ථාවලදී මටත්මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න තිබේ නම් කොතරම් හොඳදැයි කියා සිතුන වාර අනන්තයි. ඒ නිසා මගේම කියල ඒකපුද්ගල ප්‍රසංගයක් පවත්වන සිහිනය මා තුළ තිබුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මගේ “මාරම්බරී” ප්‍රසංගය ආරම්භකලේ ” එඩ්වඩ් පැවසුවා.

මිට පෙර අනූ නව(99) වතාවක් පැවැත්වූ “මාරම්බරී” සංගීත ප්‍රසංගයන් ශ්‍රී ලංකාව තුල මෙන්ම ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව ආදී විදේශීය රටවලද පවත්වා තිබෙනවා. සිංහළ ගීතයට ආදරය කරන සුවහසක් ලෝක වාසින්ගේ ආශීර්වාදය මැද 100 වන “මාරම්බරී” ප්‍රසංගය පැවැත්වීමටයි සුදානම.

“මගේ “මාරම්බරී” ප්‍රසංගය මේ තරම් සාර්ථක වීමට මගේ බිරිඳ චරිතාගේ සහභාගීත්වය විශේෂයෙන් බලපෑවා. ඇයත් මා සමඟ එකතු වී මගේ ගී ලොව ජය ගන්න දක්වපු දායකත්වය සුවිශේෂීයි. මේ ප්‍රසංගය තුළ දේශීය නාද රටා, උත්තර භාරතීය රාග ධාරී නාද, බටහිර සංගීතයට අනුව නිර්මාණය වූ නාද රටා ඇතුළත් වී තිබෙනවා. ඊට අමතරව ආදර ගීත, දේශාභිමාන ගීත, සමාජීය ආකල්ප වර්ධනය වන ගීත, ළමා ගීත විශේෂයි.” එඩ්වඩ් මාරම්බරි 100 වැනි දැක්ම පිළිබඳව එසේ අදහස් දැක් වූ අතර ඔහු මෙසේ තවත් අදහස් ඉදිරිපත්කලා.

“මාරම්බරී”’ ප්‍රසංගයේ ගීත සංචිතයක් තිබෙනවා. එක් එක් ප්‍රසංගයට ඒ ගී සංචිතයෙන් ගීත තෝරා ගන්නවා. ඒ නිසා “මාරම්බරී” ප්‍රසංගය රස විඳින අයට එකින් එක විවිධ අත්දැකීම් ලබාගත හැකියි. ඒ වගේම අපේ 100 වැනි මාරම්බරි ප්‍රසංගයෙන් විශාල වෙනසක් කරන්න අපි සැලසුම් කර තිබෙනවා. මෙතෙක් පැවැති ඒක පුද්ගල ප්‍රසංග කලාවේ නව වෙනසක් කරමින් 100 වැනි මාරම්බරි ප්‍රසංගය රසවතුන්ට රසවත් අත්දැකීමක් ගෙන දේවි. මේ ප්‍රසංගයට මගේ පුතු චන්දීප ජයකොඩි හා දුව ශාරන්‍යා ජයකොඩි විශේෂාංග ඉදිරිපත් කරනවා. ඔවුන්ද ගී ගයනවා. මගේ පුතා චන්දීප සංගීත නිර්මාණය කළ නවතම ගීතයක් මේ ප්‍රසංගයේදී ඉදිරිපත් කරනවා.”

සරල හඩින් හැගීම්බර ගායනයෙන් හා ප්‍රියමනාප සිනහවෙන් ප්‍රේක්ෂක හදවත් සනහාලූ එඩ්වඩ ජයකොඩි කලාකරුවාණන්ගේ 100 වන “මාරම්බරී” ප්‍රසංගයේ සුන්දර අත්දැකීම විදගන්න ඔබත් ජනවාරි 28 ඉරිදා සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලට පැමිණෙන්න.

Leave a Reply

Your email address will not be published.