ක්‍රිස් නෝනිස් මිලියන 1434 ක් මාටිය ගහලා

එංගලන්තයේ හිටපු මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා අගලවත්ත වැවිලි සමාගමට අයත් සේවක සේවිකාවන් 9600කගේ වැටුපෙන් කපා ගන්නා ලද E.T.P. සහ E.P.F. මුදල් රුපියල් මිලියන 1434 වංචා කෙළේ යැයි එල්ල වී තිබෙන චෝදනාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් කොමිසම මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ක්‍රිස් නෝනිස් මහතාගේ ඥාති සමාගමකට එහි මුදල් යොදවා ඇති අතර 2013 වසරේ සිට මේ මුදල් කම්කරු දෙපාර්තමේන්තුවට ගෙවා නැත. ක්‍රිස් නෝනිස් මහතා ඇතුළු පාලනාධිකාරිය ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කටයුතු කිරීම, මුදල් අවභාවිතය, සේවක අර්ථසාධක අරමුදල් බිලියන 1414 මුදල් වෙනත් සමාගමකට යෙදවීම, වතු පහක් පෞද්ගලික බැංකුවකට සින්නවීම, ආයතනයේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කර රබර් ගස් ගලවා හෙක්ටයාර් දහයක් මුඩුබිම් කරවීම, ගැලවූ රබර් වෙනුවෙන් යළි රබර් පැළ රෝපණය නොකිරීම සම්බන්ධව පැමිණිලි කර තිබෙනවා.

අගලවත්ත වැවිලි සමාගම සුරැකීමේ ඒකාබද්ධ සේවක සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන්. අගලවත්ත වැවිලි සමාගම සුරැකීමේ ඒකාබද්ධ සේවක සංගමය විසින් අගලවත්ත වැවිලි සමාගම තුළ සිදු වී ඇති වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කර තිබෙනවා.

ක්‍රිස් නෝනිස් මහතා සභාපතිත්වය දැරූ මැක්වුඩ්ස් සමාගමෙන් පාලනය වන අගලවත්ත සමාගමට අයත් වතු ප්‍රමාණය 15කි. මෙම වතුවල තේ, රබර් සහ කටුපොල් වගා කරනු ලබයි. සේවක සේවිකාවන් 11235 සේවය කරනවා. අගලවත්ත වැවිලි සමාගමේ සේවකයින්ගේ වැටුප් වලින් බැංකු ණය ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ ලබාදී ඔවුන්ගෙන් අය කරගත් මුදල් එම ආයතන වෙත ගෙවා නැහැ.

සේවක ප්‍රශ්න රැසක් තිබියදී 2013 නොවැම්බර් 16 වැනි දින එංගලන්තයේ චාල්ස් කුමරයා නුවරඑළියට පැමිණි සංචාරයට රුපියල් මිලියන 150 වියදම් කර තිබෙනවා. චාල්ස් කුමාරයා පැමිණි හෙලිකොප්ටරය බෑම සඳහා හෙලිපෑඩ 02ක් සහ කෑම බීම සඳහා එම මුදල් වියදම් කිරීම ගැන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොටස්කරුවන් ද දැනුවත් කර නැත.

තවද මේ වන විට අගලවත්ත වැවිල සමාගමට අයත් ඉඩම්, වතු බංගලා, හෝටල් සහ වාහන විවිධ පුද්ගලයන් අයිතිකරගැනීමට උත්සාහ දරන බවට ‍තොරතුරු ලැබී ඇතැයිද එම වැවිලි සමාගම සුරැකීමේ ඒකාබද්ධ සේවක සංගමය පවසනවා. අගලවත්ත වතු සමාගමේ සිදුවී ඇති මෙම දූෂණ වංචා පසුගිය රජය වෙත දැනුම් දී සිටියත් කිසිදු විභාගයක් කර නැතැයිද එම සමාගම කියා සිටියා.

 

Leave a Reply

Your email address will not be published.