නොරොච්චෝලේ පිපිරුමක් – හෙට සිට පැය 6 ක විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයේ ඊයේ සිදුවූ හදිසි බිඳ වැටීමත් සමග විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස රජය ඉල්ලීමක් කරනවා. එම බලාගාරයේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විදුලිබල ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ උද්ගත වූ තත්ත්වය හමුවේ ඇතැම් විට විදුලි කප්පාදුවක් ද සිදුවිය හැකි බවයි.

ඒ ගැන මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන බවද පැවසූ අමාත්‍යවරයා නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බවද කියා සිටියා. මේ අනුව හෙට සිට පැය 3 ත් 6 ත් අතර කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි නියමිතව ඇත්තේ.

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ ‘බරපතළ මට්ටමේ’ පිපිරීමක් සිදු වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසන්නේ. ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අඟවනවා.

 මේ අතර නොරොච්චෝලේ තාප බලාගාරය ආරම්භ කළ දිනයේ පටන් අවස්ථා ගණනාවකදී ඇනහිටි බව පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා එයට හේතුව බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නියමිත ප්‍රමිතියට අනුව සිදු නොවීම බවත් සඳහන් කළා.

‘ලංකාවේ තව විදුලි බලාගාර තිබෙනවා. නමුත් ඒ බලාගාර නොරොච්චෝලේ වගේ ඇනහිටින්නේ නැහැ. මේ තත්වය නොරොච්චෝලෙට පමණක් විශේෂිත වූ දෙයක්,’ ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.

norochchole-power-2

නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ප්‍රමිතියෙන් බාල උපාංග ගෙන්වා ඇති බවට එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශව චෝදනා කළ බවත් එම චෝදනා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

‘වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් මේ ඇනහිටීමට උත්තර බැඳීමක් පමණයි දැන් කරන්නේ. මේ යන්ත්‍ර සූත්‍රවල වැරද්දක් තිබේ නම් ඒ පිළිබඳ තාක්ෂණික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි,’ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළා.

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම බිඳ වැටුණා.

මෙගාවොට් 3900 වන රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක්වනවා.

Leave a Reply

Your email address will not be published.