ටින් ටින් රුපියල් මිලියන 246 කට විකිණෙයි

ලෝකය පුරා ජනාදරය දිනූ ළමා රහස් පරීක්ෂක චරිතයක් වූ ‘ටින් ටින්’ ඇතුළත් කාටූන් චිත්‍රකතා පිටුවක මුල් පිටපතක් ඩොලර් මිලියන 1.64 ක මුදලකට පැරීසියේ දී අලෙවි වුණා. එය රුපියල් මිලියන 246 කට ආසන්න මුදලක්. මෙම වාර්තාගත අලෙවිය සිදුවුනේ චීන තීන්ත භාවිතා කරමින් බෙල්ජියානු ජාතික කාටූන් චිත්‍ර ශිල්පියෙකු වන ජෝර්ජස් රෙමි විසින් අඳින ලද ‘Explorers on the Moon’ කතාවේ මුල් සිතුවම් පිටපතයි.

එම චිත්‍ර ශිල්පියා වඩාත් ප්‍රසිද්ධව සිටියේ හර්ගි නමින්.  එම කතා පිටපතින් නිරුපණය වන්නේ ටින්ටින්, ඔහුගේ බල්ලා වන ස්නොවී සහ කැප්ටන් හැඩොක් අභ්‍යවකාශ ඇඳුමින් සැරසී සඳමත ඇවිදින ආකාරයයි.

හර්ගි විසින් අඳින ලද එක් පිටුවක කාටූන් චිත්‍රයක් අලෙවි වූ වැඩිම මිළ මෙය බව වෙන්දේසිකරුවන් පවසනවා. සෙන්ටි මීටර 50 x 35 ප්‍රමාණයේ මෙම චිත්‍රය දෙවන ලෝක යුද්ධයෙන් පසු චිත්‍ර ශිල්පියෙකු විසින් කරන ලද නිර්මාණයක් අලෙවි වූ වැඩිම මිළ ලබමින් වාර්තාවක් තබා තිබෙනවා.

යුරෝපයේ නිර්මාණ එකතුකරන්නෙකු විසින් මිලදී ගන්නා ලද මෙම චිත්‍රය යුරෝ ලක්ෂ හතේ සිට නමය අතර ප්‍රමාණයකට අලෙවි වනු ඇති බවට විශ්වාස කෙරුණා. 1954 දී ප්‍රකාශිතවූ මෙම කතා පුවත සැලකෙන්නේ හර්ගි ගේ හොඳම නිර්මාණ වලින් එකක් ලෙසටයි.

එසේම මේ දක්වා ලෝකයේ නිර්මාණයවී ඇති වඩාත් ජනප්‍රිය කාටූන් චරිතය ලෙසටත් ටින්ටින් ප්‍රසිද්ධියක් උසුලනවා.

භාෂා අනූවකට පරිවර්තනය වී ඇති ටින් ටින් කාටූන් චිත්‍රකතා පිටපත් මිලියන දෙසීයකට වඩා විකිණී ඇති අතර තවමත් ජනප්‍රියතාවය හීන වී ගොස් නැහැ.

tin-tin

Leave a Reply

Your email address will not be published.