සිසුවිය විකුණූ ගුරුවරිය

යුක්‍රේනයේ දහතුන් හැවිරිදි දැරියක විකිණීමට උත්සාහ කළ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසනවා. නැගෙනහිර යුක්‍රේනයේ හර්කිෆ් නගරයේ පිහිටි අනාථ නිවාසයක විසූ එම දැරිය නේවාසික පාසලක ඉගනුම ලබමින් සිටියදීයි ගුරුවරිය ඇමරිකානු ඩොලර් දස දහසකට අලෙවි කිරීමට උත්සාහ දරා තිබෙන්නේ.

ගැනුම්කරු විසින් දැරිය මිලදී ගැනීමට උත්සාහ කරනු ලැබ ඇත්තේ ඇයගේ ශරීරයේ අවයව ඉවත් කර ගැනීමේ සැලසුමක් මත බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මාස හතරක කාලයක් මුළුල්ලේ ඔත්තු බැලීමෙන් පසු මෙම නීති විරෝධී ගණුදෙනුව නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත් වූ බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවා.

වසර විස්සක කාලයක් පාසල් ගුරුවරියක් වශයෙන් සේවය කළ මෙම කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දැරිය නේවාසිකාගාරයෙන් පිටතට ගෙනැවිත් ගැනුම්කරුට භාර දී ඔහුගෙන් මුදල් ලබා ගන්නා අවස්ථාවේදීයි.

Leave a Reply

Your email address will not be published.