විනිසුරු තීරණ නැවත විමසා බැලීමෙන් ලංකාව ගොඩ යයි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට නම් ශ්‍රී ලංකාව තවත් ලකුණු 248 ක් ලබාගත යුතු වනවා. ඒ කඩුලු 5 ක් අතැතිවයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව දකුණු අප්‍රිකාව පන්දුවට පහරදුන්නා. ඒ අනුව ඔවුන් පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 286 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 205 ක් පමණයි. ලකුණු 81 ක් ඉදිරියෙන් සිටිමින් ආරම්භ කළ දෙවන ඉනිමේදී තවදුරටත් ශක්තිමත්වීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

ඒ අනුව ඔවුන් කඩුලු 6 ක් දැවී ලකුණු 406 ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිම සදහා පිතිකරණයේ යෙදීමට ආරාධනා කළා. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 488 ක්. එය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට දිමුත් සහ කෞෂාල් සමත්වුණා. දිමුත් ලකුණු 43 කට දැවී ගිය අතර කෞෂාල් දැවී ගියේ ලකුණු 48 ක් ලබා සිටියදීයි.

කුසල් මෙන්ඩිස් ඉනිම තවදුරටත් ශක්තිමක් කරමින් ලකුණු 58 ක් ඉනිමට එක්කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 58 යි. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 9 ක් ලබා සිටිනවා. කෙසේ වෙතත් ඔහු කඩුලු මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයකු ලෙස විනිසුරු නම්කරනු ලැබුවා. එහෙත් විනිසුරු තීරණ නැවත විමසීමේදී එය කඩුල්ලේ නොවදින පන්දුවක් ලෙසයි සටහන් වුණේ. ඒ අනුව තෙවන විනිසුරු ඔහු නොදැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කළා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වන දිනය නිමාවන විට තවදුරටත් තරගයේ බලාපොරොත්තු රදවාගැනීමට හැකි තත්වයක් නිර්මාණය කර තිබෙනවා.

දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටිනවා. පෝට් එලිසබත් හිදී පැවැත්වෙන තරගයේ හෙට අවසන් දිනයයි. කඩුලු පූජා නොකළහොත් මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අපහසු නොවනු ඇති.

Leave a Reply

Your email address will not be published.