හම්බන්තොට චීන ගිවිසුම ආණ්ඩුව දෙකඩ කරයි ?

හම්බන්තොට ප්‍රදේශයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙළ කුමන බලපෑමක් එල්ල වූවද නවතා නොදමන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. හම්බන්තොට වරාය හෝ ඒ අවට ඉඩම විකුණා දැමීමක් සිදුනොවන බවත්, සිදුවන්නේ බද්දට ලබාදීම පමණක් බවද අමාත්‍යවරයා කියා සිටියා. එහෙත් පටු දේශපාලන අරමුණු සහිත දේශපාලඥයන් හා බලලෝභී පිරිස් ජනතාව නොමඟ යවමින් සිටින බවද සිය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මාගම්පුර වරායේ වැඩකටයුතු චීන සමාගමක් හා එක්ව කිරීමට මේ මස 07 වැනිදා ගිවිසුම් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කළද එයට ඉඩ ලබානොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එදිනට සිදුවන්නේ උත්සවයක් පමණක් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

ගිවිසුම අත්සන් කිරීමේදී රටට හා ජනතාවට කිසිදු හානියක් සිදුනොවිය යුතු බවත්, මේ නිසා අදාළ ගිවිසුම හා කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත‍්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

Leave a Reply

Your email address will not be published.