විමල් හිරේගිය ඇත්තම හේතුව දැනගන්න මහින්ද ගිහින්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ වාහන හතළිහකට මුදල් ගෙවීමේදී රුපියල් නවකෝටි දාහත් ලක්‍ෂයකට ආසන්න මුදලක් රජයට පාඩුකර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියා. අත්අඩංගුවට ගෙන සිටි විමල් වීරවංශ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේට ඇප ඉල්ලුව ද සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න නියෝග කළේ ඒ අනවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගත්තේ රජයේ මුදල් සාපරාධී සාවද්‍යය පරිහරණය, විශ්වාසය කඩ කිරීම ,  වංචා කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් වෙත වාහන අවශ්‍ය වී තිබෙනවා. එහිදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කුලී පදනම මත වාහන ලබාගෙන මෙම වැඩබිම් වෙත ලබා දී ඇති බව සදහන් කර තිබෙනවා. නමුත් සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැබෑවටම අදාළ වැඩබිම් වෙත වාහන ලබා දී නැති බවයි. අමාත්‍යවරයාගේ සමීපම ඥාතීන් කිහිප දෙනෙකුට මෙම වාහන ලබා දී තිබෙනවා. එක් වාහනයක් විමල් වීරවංශගේ වැඩිමහල් සොහොයුරියගේ පුතුන් දෙදෙනාට ලබා දී තිබෙනවා.

එසේම ඔහුගේ මස්සිනාවරුන් දෙදෙනෙකුට ද වාහන ලබා දී ඇති අතර තවත් වාහනයක් ඔහුගේ නැගණියට ලබා දී තිබෙනවා. එසේම තවත් වාහන දහයක් ඔහුගේ පක්‍ෂය වන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියා.

කුළී පදනම මත මෙම වාහන ලබා ගැනීම සදහා විමල් වීරවංශ ලිඛිතව හා වාචිකව ආධාර , අනුබල දී ඇති බව තහවුරු වී ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා සිටියා.

විමල් වීරවංශගේ දියණියගේ හා ලොකුහැන්නදිගේගේ දියණියගේ රෝගී තත්ත්වයන් සලකා ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසට ජනාධිපති නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 24 වනදා සලකා බලන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේ ඔහු සමග පැමිණි පිරිසක් අසභ්‍ය වචන පවසමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපිට කෑකෝගසනු ලැබුවා.

කෙසේ වෙතත් විදෙස්ගමන් බලපත්‍ර දෙකක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් 2015 සැප්තැම්බර් 23 වනදා අත්අඩංගුවට ගත් සැණින් ඔහුට ඇප ලැබුණු අතර විදේශ ගත වීමේ අවස්ථාව ද උදා වුණා.

මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීම සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ සිටියා.

Leave a Reply

Your email address will not be published.