නීතිපතිට නොතේසි – උඩුවේ හිමිගේ නඩුව සැප්තැම්බරයේ

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහි නඩුව කැඳවීමට දින නියම කර තිබෙනවා. අදාළ නඩුව අද(02)සලකා බැලූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් අදාළ නඩු සැප්තැම්බර් මස 20-21 යන දෙදින තුළ කැඳවීමට තීරණය කළා.

එදිනට සාක්ෂිකරුවන්ද අධිකරණයට කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා විසින් දැනුම් දී තිබෙනවා. බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගත් බවට වන සංරක්ෂණ ආඥා පනත යටතේ නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කළා.

මේ අතර 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිතිපතිවරයාට නොතිසි නිකුත් කර තිබෙනවා. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු පොලිසිය විසින් නිසියාකාරව සිදුකර ඇති බවයි.

එම කටයුතු සාර්ථක කරගැනිම සඳහා නිතිපතිවරයාගේ සහය අවශ්‍ය බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය ඒ අනුව නීතිපතිවරයාගේ නියෝජිතවරයෙකුට අද දින අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වා පසුගිය වතාවේ ලියාපදිංචි තැපැලෙන් දැනුම් දීම් සිදුකළ බව කියා සිටියා. කෙසේවෙතත් අද දිනයේ නීතිපතිවරයා නියෝජනය කරමින් කිසිදු රජයේ නිතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනි සිට නැහැ.

පරීක්ෂණ කටයුතු සාර්ථක කරගැනීම සඳහා නීතිපතිවරයාගේ සහය ඉතා වැදගත් බැවින් මීළඟ දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නීතිපතිවරයා වෙත පිස්කල්වරයා මාර්ගයෙන් නොතීසි නිකුත් කිරිමට මහේස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබෙනවා. වැඩිදුර නඩු විභාගය ලබන 30 වැනිදා සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.