පාද යාත්‍රාව ගැන ඩලස් අභ්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

මාටින් ලූතර් කිං හා මාවෝ සේතුං පවා පා ගමන් ගොස් ඇති බවත්,  එසේ වුවද මානව ඉතිහාසයේ පැවැති විශාලතම පා ගමන ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන බවත්, පා.ම ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම පා ගමන කඩාකප්පල් කිරීමට රජය විවිධ උපක්‍රම යෙදූ බවයි.

පා ගමනට පැමිණ සිටි පිරිස ගැන දුමින්ද දිසානායක, මහින්ද අමරවීර හා ලක්ෂ්මන් කිරිඇල්ල  විවිධ කතා ප්‍රකාශ කර ඇති බවත්, මෙහිදී කිරිඇල්ල මහතා යාරයක විතර කොටසක සෙනඟ සිටියා යැයි පවසා ඇති බවත්, පැවසූ ඒ මහතා “මම නම් හිතන්නේ කිරිඇල්ල මහත්තයා දැකලා තියෙන්නේ එයාගේ උපදේශකයින් ටික කාර්යාලයට එනවා වෙන්න ඇති” යනුවෙන්ද අදහස් පළ කළා.

එම පා ගමනට මුල සිටම මිලියන දෙකක ජනතාවක් එක්වූ බවත්, කොළඹට පැමිණියේ ඉන් මිලියනයක් බවත්, මන්ත්‍රීවරයා කියා සිටියා. මහනුවර සිට කොළඹ දක්වා ඇති එකදු දිස්ත්‍රීක්කයක් වත් පසුගිය මැතිවරණයේදී අපට ජයග්‍රහණය කිරීමට නොහැකි වූ ඒවා බවද එසේ තිබියදී මෙතරම් පිරිසක් පාද යාත්‍රාවට එක්වීම විශාල ජයග්‍රහණයක් බවද ඔහු පවසා සිටියා.

පාදයාත්‍රාව ගැන මාත්‍රයක් නොදන්නා එජාපය, ශ්‍රීලනිපය සමග යෝජිත විවාහයකට ගිය බවද පෙන්වාදුන් මන්ත්‍රීවරයා ශ්‍රීලනිපයේ ස්වර්ණමය නායකයා මහින්ද රාජපක්ෂ බවත්, 77දී සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ එජාපය සමග දැන් ඔවුන් එකට සිටින බවත්, පෙන්වාදුන්නා.

සිරිකොත ඉදිරිපිටින් පාද යාත්‍රාව යද්දී හූ නොකී බව මහින්ද අමරවීර පවසා ඇති බවත්, ඉන් පෙනී යන්නේ අමරවීර පාද යාත්‍රාවේ ගමන් මාර්ගයවත් නොදන්නා  බවත්, යැයිද හෙතෙම කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල් පීරිස්, තිස්ස විතාරණ යන අයද එක්ව සිටිමින් පා ගමන ගැන අදහස් පළ කළ අතර තොරතුරු දැන ගැනීමේ පනතට කථානායකවරයා අත්සන් කළ බවට ඊයේ පැතිර ගිය ආරංචිය අසත්‍යයක් බවත්, ඊට මෙතෙක් අත්සන් කර නැති බවත්, දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාර කාර්යාලය ඉදිරිපිටදී හූ කියමින් අපහාසාත්මක ලෙස හැසිරුණු බවට ජන සටන පාද යාත‍්‍රාවේ පැමිණි පිරිස්වලට චෝදනාවක් පවතිනවා.

ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ ඒ පිළිබඳව පාද යාත්‍රාවේ කමිටුව නිල වශයෙන් කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි. කවුරුන් හෝ කෙනෙකු එසේ කීවේ නම් හෝ ජනාධිපතිවරයාට අපහාස වෙන පෞද්ගලික ප්‍රකාශ සිදු කළා නම් අවංකවම ඒ ගැන කණගාටු වෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුටුවල ඉන්න සියලු දෙනාගෙන්ම තමන් ඉල්ලීමක් කරන බවද පැවසුවා. ඒ පක්ෂයේ නිර්මාතෘවරයාගේ සොහොන අසළදී ගෞරවාන්විත අයුරින් පැමිණ පක්ෂ මූලස්ථානය අසළදී එසේ හැසිරුනා නම් එසේ වූයේ ඇයි යන්න අභ්‍යන්තර සාකච්ඡාවක් මගින් විසඳගත යුතු බව පවසමින්.

Leave a Reply

Your email address will not be published.