අමෙරිකාවේ නිව්යෝක් හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 20ක් සපිරෙනවා.

අල්ඛයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ගුවන් යානා 4ක් උපයෝගී කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ 2001 සැප්තැම්බර් 11 යි.

ගුවන් යානා දෙකක් ලෝක වෙළද මධ්‍යස්ථානයට කඩා වැදුණු අතර එක් ගුවන් යානයක් පෙන්ටගනයට කඩා වැදුණා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 3000ක් පමණ මිය ගිය අතර 6000කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

අමෙරිකානු වැසියන් අදටත් එම ප්‍රහාරය කිසිදා අමතක නොවන බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ කරමින් සිටිනවා.

මේ වෙනුවෙන් මෙරට විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකාව ට සහය පළකරන අතර සියලුම ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වැලැක්වීමට ලොව පුරා රටවල සහය්ද එමගින් අපේක්ෂා කරන බව නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්.

මාධ්‍ය නිවේදනය

9/11 ඛෙදවාචකය පිළිබඳ 20 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සහයෝගය පළ කරයි

ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් සපිරේ.

රටේ සමකාලීන ඉතිහාසයේ ඉතාමත් වේදනාකාරී සිදුවීමක් සිහිපත් කරන මෙම අවස්ථාවේ දී, ශ්‍රී ලංකා රජය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව සහ එහි රජය වෙත සිය සහයෝගය පළ කරයි. මේ අවස්ථාවේදී, එම බිහිසුණු ප්‍රහාරවලින් විපතට පත් වූවන් සහ දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු වෙත ද ශ්‍රී ලංකාව උපහාර දක්වයි .

දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ශ්‍රී ලාංකික භූමියේ පැවති අභියෝගය සාර්ථකව ජයගත් රටක් ලෙස, සෑම ආකාරයකම ත්‍රස්තවාදය සහ එහි ප්‍රකාශනයන් තුරන් කිරීම සඳහා සියලු රටවල් එක්විය යුතු බව ශ්‍රී ලංකා රජය යළි අවධාරණය කරයි.
විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 සැප්තැම්බර් 11 වැනි දින

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *