නුවරඑළිය නගරයේ වෙළෙඳසලක මිල වෙනස් කර වැඩි මිලට චොකලට් අලෙවි කළ වෙළෙන්දෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (ජන. 6) දින පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මෙම පියවර ගෙන ඇති බව ය.
එම වෙළෙඳසලේ තිබුණු චොකලට්වල මිල මකා දමා එම වෙළෙන්දා වර්තමාන වෙළෙඳපොළේ පවතින මිල පෑනකින් සටහන් කර අලෙවි කරන බවට නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇත.
නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානාධිපති රංග කරුණාරත්න මහතා සඳහන් කළේ, ලද පැමිණිල්ල මත උපාය දූතයෙකු යොදාගනිමින් මිල වෙනස් කරන ලද චොකලට් මිල දී ගෙන සැකකාර වෙළෙන්දා සහ චොකලට් තොගය තමන් භාරයට ගත් බව ය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, සැකකරුට මේ මස 13 දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් දී බැඳුම්කරයක් මත මුදා හැරි බව ය.