බොරැල්ල, ආනන්ද රාජකරුණා මාවතේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නමැති 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත බව පොලිසිය කියයි.

පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියාකර ඇති අතර විමර්ශනවලදී ඒ බව හෙළි විනැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම සැකකරුට මුදල් මෙන් ම, බෝම්බය ලබාදී ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බව ද මේ වන විට තොරතුරු හෙළිවෙමින් පවතින බවත් එයට හේතුව ඊයේ (ජන. 18) රාත්‍රී වනතුරු ත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් උසස් පොලිස් නිලධාරියා කීය.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කිහිපයකට ඉහතදී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවට ද තොරතුරු අනාවරණය වූ නමුත් එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියා පැවසීය.

අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් දෙදෙනාම මේ වන විට වරාය පොලිසියේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රඳවා ඇති බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

By admin

Leave a Reply

Your email address will not be published.