ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මීට දින කිහිපයකට පෙර වැඩ බාරගන්නා ලද සොනාල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු යූ ටියුබ් නාලිකාවල කළමනාකරණ කටයුතු අයිඩියාහෙල් (IdeaHell) වෙත ලබාදීමට මේවන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
නොම්බර 45/6, අල්විස් පෙදෙස, කොළඹ 03 යන ලිපිනයේ පිහිටි අයිඩියාහෙල් (IdeaHell) ආයතනය දෙරණ හිමිකරු දිලිත් ජයවීර මහතා යටතේ ක්‍රියාත්මක වන තවත් ආයතනයකි.
එසේම ඒ මහතාට අයත් ට්‍රයිඇඩ් පුද්ගලික සමාගම (Triad (Pvt) Ltd) පිහිටා ඇත්තේ ද අදාළ ලිපිනයේම වේ.
සොනාල මහතා අදාළ ධූරයට පත්වූ වහාම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු යූ ටියුබ් නාලිකාවල මෙතෙක් කළමනාකරණ කටයුතු කරන ලද ආයතනය ඔහුගේ තනි මතයට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
එම ආයතනය පසුගිය වසර තුනක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු යූ ටියුබ් නාලිකාවල කළමනාකරණ කටයුතු සිදුකර ඇති අතර ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් රූපවාහිනිය මගින් අධීක්ෂණයක් සිදු කර ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව ඉකුත් වසරේ (2021) නොවැම්බර් මාසයේදී දර්ඝ කර තිබියදී සොනාල මහතා ඔවුන් අදාළ කළමනාකරණ කටයුතුවලින් ඉවත්කර ඇත.
කෙසේවුවද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු යූ ටියුබ් නාලිකාවල කළමනාකරණ කටයුතු තරඟකාරී තවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක යූ ටියුබ් නාලිකා කළමනාකරණය සිදුකරනු ලබන ආයතනයකට ලබාදීමට එහි සභාපතිවරයා ගන්නා ලද තීන්දුවට මේවන විට රූපවාහිනියේ ඉහල නිලධාරීන්ගේ විරෝධය මතුව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
අයිඩියාහෙල් (IdeaHell) ආයතනයේ සාමාන්‍යාධිකාරී ජනිත් රොද්‍රිගූ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් අද (02) මීට අදාළ ගිවිසුම අත්සන් කිරීමට රූපවාහිනියට ගොස් ඇති අතර එහි ප්‍රධානීන්ගේ විරෝධය හමුවේ එය අත්සන් කිරීම හෙට (03) දක්වා කල්ගොස් ඇතැයි පැවසේ.
ජනිත්, ටීවී දෙරණ ඩිජිටල් මාධ්‍ය අංශයේ සාමාන්‍යධිකාරීවරයාද වේ.

කෙසේවුවද, සොනාල මහතා ජනාධිපතිවරයා කට සොලවන්නේ තමාගේ මතයට අනුව යැයි බියවද්දමින් එම ගිවිසුමට විරුද්ධ වූ රූපවාහිනියේ ඉහල නිලධාරීන්ට මේවන විට බලපෑම් කරමින් ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට යූ ටියුබ් නාලිකා හරහා ලැබෙන ආදායම ද කෙලින්ම අයිඩියාහෙල් (IdeaHell) වෙත ලැබෙන පරිදි අදාල ගිවිසුම සකස්කර ඇති බවත් පැවසේ.
මේ ගිවිසුමත් සමඟ මෙරට ප්‍රධානතම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු පුවත්, කාලීන සිදුවීම් හා රාජ්‍ය උත්සව ඇතුළු සියළුම තොරතුරු වල ඩිජිටල් පාලන බලය මේ අනුව පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට පාලනය කිරීමේ හැකියාව ලැබී අති භයානක බව එහි සේවකයෝ කියති.
සොනාලගේ ගුරුවරයා වූ සිංහල ගුරු උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසන්නේ මෙරට මීඩියා ගෝඩ්ෆාදර් නැසී ගිය කිලී මහරාජා මහතා බවත්, මීළඟට එම කිරුලට හිමිකම් කියන දෙදෙනාගෙන් කෙනෙකු වන්නේ දිලිත් ජයවීර මහතා බවයි.