ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් නිකුත් කිරීම නතර කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට බැංකුවලට නියෝග කර තිබෙනවා.

මේ බව මහ බැංකු අධිපතිවරයාගේ ලේකම්වරයා mawbima.lk වෙත තහවුරු කළ බව එම වෙබ් අඩවිය සඳහන් කරනවා.

ඔහු ප්‍රකාශ කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට ණය ගැනීමේ සීමාව (Single Borrowable Limit) ඉක්මවීමට ආසන්න මට්ටමට පැමිණ ඇති බව ය.

එහෙයින්, මෙරට බැංකු පද්ධතිය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා අදාළ තහනම පැනවූ බව ඔහු සඳහන් කළේ ය.

බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම මහ බැංකුවේ වගකීමක් වන හෙයින් මහ බැංකු අධිපතිවරයා මෙම නියෝගය කළ බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, ඉදිරියේදී රටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම් සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අදාළ අමාත්‍යවරයා විකල්ප ක්‍රියාමාර්ගයක් සොයා ගත යුතුව ඇතැයි ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ වන විට ත්, රට පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර පාරිභෝගිකයින් පවසන්නේ, බොහෝ පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව ය.

By admin