”ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු, 74 වසරක ශාපය නිමා කරමු” යන තේමාව යටතේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ විරෝධ රැලිය අද (මාර්තු 23) නුගේගොඩ දෙල්කඳ මංසන්ධියෙන් අරඹයි.
පස්වරු 3.00ට දෙල්කඳ හන්දියෙන් පෙළපාළිය ආරම්භ කර නුගේගොඩට පැමිණීමෙන් පසු රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයන්, සාමාජිකයන්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගි වීමට නියමිත ය.
රටේ පවතින ආර්ථික පීඩනයත් සමඟ වයස් භේදයකින් තොරව මෙයට විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ අතර, පෝලිම්වල ලැග සිටිමින් ආණ්ඩුවේ සැප විඳින අයට තව තවත් ශාප කිරීමෙන් පමණක් ඵලක් නොවන බවත් අද (මාර්තු 23) ජාතික ජන බලවේගයේ නුගේගොඩ රැලියට පැමිණ තම විරෝධය දක්වන ලෙස ත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
එම නිසා තමන්ගේ පක්ෂ, පාට භේද හෝ පරම්පරාගත දේශපාලනය ගැන නොසිතා තම විරෝධය ඉතා විවෘතව ප්‍රකාශ කිරීමට ඇති හොඳ ම තැන හා අවස්ථාව ජාතික ජන බලවේග රැලිය බව ත් අද (මාර්තු 23) සවස 3.00ට නුගේගොඩ දෙල්කඳ හන්දියට පැමිණ මේ 74 වසරක ශාපය නිමා කිරීමට දායක වන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේ ය.
ආණ්ඩුව ජනතාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහි වීම ජනතාවගේ සැබෑ අයිතියක් බව ද ඔහු කීය.
විශේෂයෙන් ම රටේ ගෑස්, තෙල් පෝලිම් මෙන් ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය තුළ තවත් දැරිය නොහැකි දැඩි ආර්ථික පීඩනයකට ජනතාව ගොදුරු වී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
ආණ්ඩුව පළවා හැරීමෙන් පමණක් මෙයට විසඳුම් නොලැබෙන අතර ජනතාව එක්ව ජනතාවාදී පාලනයක් ගොඩනැඟීමට එක්වන ලෙස ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරට ත් ඉල්ලා සිටියේ ය.