සිය ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට නොහැකි නම් තමන්ට ගිනි අවි ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් පෙරේදා (14) ඉල්ලා සිටියහ.

මැයි 9 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබුණි. මන්ත්‍රිවරු අනූවක් පමණ ඊට සහභාගි වූ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊට එක්ව සිටියේ නැත. නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රිවරුද එක්නොවූ මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා එක්ව සිටියේය. තවද පොලිස්පතිවරයාද ඊට කැඳවා තිබුණි.

රැස්වීම ආරම්භයේදීම මන්ත්‍රිවරුන් පසුගිය දින කිහිපය පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිය නිවාසවලට සිදුවූ අලාභහානි ගැන අදහස් පළ කළහ. එහිදී මන්ත්‍රිවරුන් සෘජුව චෝදනා කර ඇත්​තේ පොලිස්පතිවරයාටය. ඇතැම් මන්ත්‍රිවරු පොලිස්පතිවරයාට අසභ්‍ය වචනයෙන් පවා බැණ වැදී තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු යොදවා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ පොලිස්පතිවරයා ඉවත් කරන ලෙසයි.

මේ අතර කඩිනමින් හමුදාව යෙදවීමට හමුදාපතිවරයා අපොහොසත් වීම පිළිබඳවද මන්ත්‍රිවරයකු දැඩි විවේචනයක් එල්ල කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදී හෙට (17) පාර්ලිමේන්තුවේදී බහුතර බලය පෙන්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් එහිදී පැවැසුවේය. ඒ සඳහා සියලු මන්ත්‍රිවරුන්ගේ අනුමැතියද ලැබුණු බව ඔහු අවධාරණය කර සිටියේය.

මෙම සාකච්ඡාවට දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර මන්ත්‍රිවරුද ඊට එක්වූයේ විවිධ ආරක්ෂක උපක්‍රම භාවිත කරමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් දරන මන්ත්‍රිවරයකු ‘මරුටි වර්ගයේ’ කාර් රථයකින් රැස්වීමට සහභාගි වූයේය. තවත් මන්ත්‍රිවරු වෑන් රථවලින් පැමිණියේය. මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ සුඛෝපභෝගි වාහනවලින් මන්ත්‍රිවරුන්ගේ පැමිණීම අවම වීමයි.

උදයජීව ඒකනායක

By admin